Friday, October 11, 2013

සිංහල TOOLS




 සිංහල TOOLS

හවස 6.30 යි. කෝලිතය නිදි.කම්මැලිකමට. කොල්ල ඇවිල්ල ඇහැරෙව්ව.
තාත්තෙ නැගිටින්න....තාත්තෙ නැගිටින්න.......
කොල්ල තුන්වෙනි වතාවටත් කතාකලා.තාත්තේ....................ඒඒ..........ඒඒඒ.....
ඔන්න කොල්ලගෙ දෝංකාරය කිචන් එකට පිවිසුනා.
කොස් කප කපා හිටපු නිසි බලධාරියා ඊළඟ මොහොතෙ කාමරේ.
මේ ......ඕයි...නැගිටිනවා . වෙලාව හයහමාරයි.කම්මුලට දෙපාරක් තට්ටු දැම්මා. දෙවෙනි පාර තදින් ම දැණුනා. දැණුනා නෙමෙයි ඇළුනා.
හරි හරි පුතේ යමු යමු කියාගෙන ඇඳෙන් පැන්න කෝලිතය මෙලෝ සිහියක් නැතිව එකපාරටම ඇඳුම් අඳින්න පටන් ගත්තා.කොල්ල විතරක් නෙමේ කාටවත් බය නැති කුමාරිත් හොල්මං වෙලා බලාන ඉන්නව මේ වෙන්නෙ මොකක්ද කියල.
හරි යං හරි . කැම එක ගත්තද? කෝ බෑග් එක ගත්තද? සල්ලි කීයක් හරි අම්මගෙන් ඉල්ල ගත්තද? අයියෝ කෝ ඔයා ඇඳුම් ඇඳලත් නැහැනෙ. කෝ සපත්තු දාලත් නැ..............
ඕන් එතකොට තමයි කෝලිතයට තේරුනේ මොකක් හරි අවුලක් කියල. ඔලුව උස්සල බලන කොට තමයි දැක්කෙ දෙන්නම තමං දිහා කට ඇරගෙන බලාන ඉන්නව කියල.
තාත්තෙ දැන් උදේ නෙමේ හවස.
එතකොට තමයි කෝලිතයගෙ තුන්වන ඇස ඇරුනෙ. හරි, හරි මම දන්නව මම කලේ පොඩි රිහල්සල් එකක්. එතකොට උදේට ලේසියිනෙ.ඒකයි කියල මූණ අත ගාන ගමන් කිව්ව.
හැබැයි අත මූණෙන් ගන්න බැහැ.ඇලිල.
ඔන්න දැන් කොල්ලටයි කුමාරිටයි දෙන්නටම හිනාව නවත්තගන්න බැහැ.මුළු කාමරේම හිනා විකුණන මාකට් එකක් වගේ උනා එකපාරටම.තමන්ට හිනා වෙන එකට තරහ ගන්නද නැද්ද කියල කෝලිතය මොහොතක් හිතල, ඇනගන්නෙ මොකටද කියල හිනාවට එකතු උනා. ඒ උනාට කන්නාඩියෙන් මූණ බැලුවහමයි ඌටත් වැඩේ තේරුනේ.
මේ ළමයගෙ මොකක්ද ඉස්කොලෙ වැඩක් තියනවලු කොහෙවත් යන්නෙ නැතුව ඒක කරල දෙනවා කුමාරිගෙ සුපුරුදු අණ ලැබුනා.
වැරදිලාවත් හවස් වෙන‍කොට පාර පැත්තෙ යන්න බැරිඋනොත් රෑට හීනෙන් හැමතැනම බාර්,රෙස්ටෝරන්ට් පේන්න පටන් ගන්නවා.ඒ හින්ද එක වතාවක් හරි බාර් එක වන්දනාමාන කරගෙන එන්නයි කෝලිතය හැදුවෙ. ඒ වැඩේ පැයකට විතර කල් දාල කුස්සියට  ගිහින් මූණෙ තිබුන කෙහොල්ලැ වල පොල්තෙල් ගාගෙන ඇවිත් කෝලිතය කොල්ල ලඟින් වාඩි වුනා.
තාත්තෙ ලබන අඟහරුවාදා අපේ ඉස්කෝලෙ සාහිත්‍ය දිනය...................එදාට ලොකු උත්සවයක් තියනව.................... අධ්‍යාපන අධ්‍යක්ෂ තුමත් එනව................................
කෝලිතයට තේරුනා කොල්ල වටේ කැරකෙන්නෙ ඉස්කෝලෙ ආර්ථික ගැටළුවකට පිළියම් ‍හොයාගෙන තමා කියල.
මේ කොල්ලො, දැන් කීයක් කියල ඉස්කෝලෙට පූජ කලාද බලපං .ආයෙ සල්ලි නං ඉල්ලන්න එපා. ඕන නං දවසක් නිවාඩු දාල හරි ඇවිල්ල වැඩ කරල දෙන්නම්.  
තාත්තෙ පයින්නෙ නැතුව ඉන්නකො. මම තවම කියල ඉවර නැහැනෙ.එදාට ළමයින්ගෙයි ගුරුවරුන්ගෙයි වැඩසටහන් ගොඩක් තියනව.ප්‍රින්සිපල් කිව්ව මේ සැරේ උත්සවේ විශේෂාංගයක් හැටියට එක අම්ම කෙනෙකුට හරි තාත්ත කෙනෙකුට හරි අවස්ථාව දෙනව කියල.
ආ....දැන් උඹ කියන්න හදන්නෙ ඉස්කෝලෙ දේවල් වලට අම්මල තාත්තල ගෙන්නන එක වැරදියි කියල අර කලින් වතාවෙ වගේ පෙත්සමක් අධ්‍යාපන අමාත්‍යාං‍‍‍ශයට යවමු කියලනෙ. මට බැහැ බං ඕව ඔච්චර හොඳ වැඩ නෙමේ.
ඔය ඉතින් ආයෙත් පැන්නනෙ. පොඩ්ඩක් ඉන්නකො.දැන් ඔය කියන අවස්ථාව ලැබිල තියෙන්නෙ අපේ පන්තියට.
හා.....හා......හාහා...........හූහ්......හූහ්...............හූ.............
ඔන්න දැන් කෝලිතය පුටුවෙනුත් නැගිටල මහ හයියෙන් හිනා වෙනව.කොල්ල ආයිමත් හොල්මන් වෙලා බලාන ඉන්නව.සද්දෙට කුමාරිත් දුවගෙන ආව.
හා.....හා......හාහා...........හූහ්......හූහ්...............හූ............. දැන් උඹ අහන්න හදන්නෙ ඔය වැඩේට උඹලගෙ අම්මව යැව්වට කමක් නැද්ද කියලනෙ.
හූහ්......හූහ්...............හූ.............හොඳයි, හොඳයි උඹට ඉස්කෝලෙ ආයෙමත් යන්න අදහසක් නැත්තම් අම්මව ඔය වැඩේට යවමු.අම්ම හොඳ ඒක පුද්ගල සංදර්ශනයක් කරල එයි.රිහසල් කරන්න දේකුත් නැහැනෙ.
හූහ්......හූහ්...............හූ.............
නැහැ ,නැහැ තාත්තෙ. පන්ති බාර ටීචර් ඇහැව්ව අම්මව හරි තාත්තව හරි එවන්න කොයි ළමයද ඉදිරිපත් වෙන්නෙ කියල.ඉතින් මම ටක් ගාල අනිත් අයට කලින් ඔයාගෙ නම දුන්න.
කෝලිතය පුටුව උඩට අතෑරුනා .වැලමිට පුටුවෙ වැදුන,ඔළුව පුටු ඇන්දෙ වැදුන, වේවැල් හතර පහකුත් කැඩුන.
හා.....හා......හාහා...........හූහ්......හූහ්...............හූ............. කුමාරිගෙ හිනාව කුස්සියට යනකම්ම ඇහුන.
උඹට පිස්සුද ? නැත්තං හැටිද? උඹ මොකටද පැනල බාරගත්තෙ.අනිත් උං උඹව ගෙනාට අන්දල දැං හිනාවෙනව ඇති. ඇයි දැං උන්ගෙ දෙමව්පියො බේරිලානෙ.
තාත්තම නේද මට කියල තියෙන්නෙ හැම දේටම පස්ස ගහන්නෙ නැතුව ඉදිරිපත් වෙන්න කියල.අනිත් ඒක තාත්තට අමාරු දෙයක් නෙමෙයි.
 හරි දැන් මට මොකක්ද කරන්න තියෙන්නෙ.
"සිංහල භාෂාවේ මෙවලම්" කියන මාතෘකාව යටතේ විනාඩි 15 ක් විතර කතා කරන්න තියෙන්නෙ.
මොකක්? මම දන්නෙ කොහොමද බං ඔව්ව.අනික එව්ව ගුරුවරුන්ගෙ වැඩ.
ඇයි ඔයා හැමදාම පංපෝරි ගහන්නෙ.අපි දන්න දේවල් වලින් බාගයක් වත් දැං ඉන්න උං දන්නෙ නැතය, අපි කියවල තියන පොත් උඹල කියවල නැතය.සංස්කෘත සොලෝක තාමත් මතකය කියල. මං හිතුව ඔය කියන්නෙ ඇත්ත කියල.ඒ හින්ද වැඩේ බාරගත්තෙ.
තව දුරටත් ගෙදරට නෝන්ඩි විය නොහැක.කෝලිතයා දැඩි තීරනයක් ගත්තේය.
හරි, කියපං මම කීයටද ඉස්කෝලෙට එන්න ඕනැ කියල.
ලබන අඟහරුවාදා උදේ දහයට.ඉස්කෝලෙ ප්‍රධාන ශාලාවට.මතකනෙ, සිංහල භාෂාවේ මෙවලම්.
දැං කෝලිතයාට වෙලා තියෙන්නෙ නොදන්නම දෙයක් ගැන දන්නව වගේ කතාවක් කරන්නයි. කාගෙන්වත් අහන්නත් බැහැ නොදන්න බව එලිවෙන හන්ද.ඒ හින්ද එවෙලේම ක්‍රියාත්මක උනා. කෙලින්ම ගියෙ බාර් එකට.
එතනට ගිහින් එනකොට සෑහෙන කරුණු ගොඩක් එකතුකරගෙන එන්න පුළුවන් උනා.ගෙදර ඇවිත් කොලේක ලිව්වා.
පහුවදාටත් ගියා.හැබැයි කලින් දවසෙ එකතු කරගත්ත එව්වට වඩා වෙනස්.
ඔහොම දවස් පහක් ගියා.අන්තිමට සිංහල භාෂාවම අච්චාරුවක් උනා.ගෙදර ඇවිත් ලියාගත්ත කොල ඔක්කොම ඉරුවා.
සඳුදා රෑ වෙනකොට කෝලිතයට උණ වගේ.පහුවදා උදේ ඇහැරෙනකොට කොල්ල ඉස්කෝලෙට ගිහිල්ල.කෝලිතයත් ඉක්මනට ලෑස්ති වෙලා පිටත් වෙන්න කලින් පිළිකන්නට ගිහින් කලින් දවසෙ හංගල තියපු තහනම් උත්තේජක ඔක්කොම කටට හලා ගත්ත.ඉස්කෝලෙට යනකොට හරියටම වෙලාව දහයමාරයි. කොල්ල මග බලාන ඉන්නව බය වෙලා වගේ.හෝල් එකට ඇතුල් වෙනකොටම නම කිව්ව හින්ද කෙලින්ම ගොඩ වෙන්න උනේ ස්ටේජ් එකට.මහා හයියෙන් ඇහුනු අත්පුඩියත් එක්ක හැරුනහම තමයි කෝලිතයට එලොව රඹුටන් පෙනුනෙ.හෝල එකෙන් එකයි.ගුරුවරු,ළමයි, දෙමව්පියො මේ ඔක්කොම ඉන්නවා.
තැනට ඔබින විදිහට ජාතික ඇඳුම ඇඳගෙන යන්න කියල කුමාරි බල කරපු එකේ අගේ කෝලිතයට හොඳටම දැනුන.ඒ කකුල් දෙක මැඩ්ලින් ගහන එක පේන්නෙ නැති හින්ද.
කොල කෑල්ලක්වත් අතේ නැතුව කෝලිතය මයික් එක ලඟට ගිහින් කතාව පටන් ගත්ත.
"සභාවේ සියළු දෙනාගෙන්ම අවසරයි.මට කියන්න සන්තෝෂයි සිංහල භාෂාවේ මෙවලම් ගැන කතාවක් කරන්නයි කියල මගෙ පුතා මට කියන කොට මට අදහාගන්න බැරිඋනා.පුදුම සතුටක් මට දැනුනා. මම දන්නදේ කාට හරි  කියල දෙන්න පුළුවන් නේද කියන හැඟීම ආවා.ඇත්තටම කිව්වොත් මම අද මෙතන රහසක් කියන්නම්.මගෙ පරම්පරාව සිංහල භාෂාවට ලොකු නෑකමක් තියනව. ඒ අපි සිංහල හින්ද විතරක් නෙමේ"
"මට කියන්න ආඩම්බරයි, අපේ භාෂාවෙ බොහොමයක් මෙවලම් අපේ පරම්පරාවෙන් දායාද කරපුව.දැන් බලන්න ඔයාල කවුරුත් දන්න ඇදපිල්ල.අපේ මුත්ත ඉස්සර හරක් හදල තියනව.ඉතින් එයා, හරකුන්ට තණකොල කපන දෑකැත්ත අතේ තියාගෙන ඉන්නකොට තමයි මුලින්ම අදහහ පහලවෙලා තියෙන්නෙ ඒක ඇදපිල්ලට ගත්තොත් හොඳයි කියල. දැන් බලන්න අපි ඒකෙන් කොච්චර වැඩ ගන්නවද කියල.අතිත් එක ඉස්සර සමහර සත්තු ඉදලත් නෑ මේ ඇදපිල්ල නැති හන්ද.උදාහණයක් හැටියට කිව්වොත් ඉස්සර බල්ලො විතරයි ඉඳල තියෙන්නෙ.මුත්තගෙ වැඩේ හින්ද බ යන්නට ඇදපිල්ල එකතුවෙලා බැල්ලියො ඇතිඋනා"
ශාලාවේ සියළු දෙනාම මහ හයියෙන් සිනා වන්නට විය.ඔහුට සිතුනේ වේදිකාවේ ඇති විදුලි පංකාවේ සැරට තම සරම උඩ ගියා වත්දෝ කියාය. ගුරුවරයෙක් නැගිට නිශ්ශබ්ද වන ලෙස අතින් සන් කිරීම නිසා හරබර දේශනය නැවත ආරම්භ විය.
"ඔබට මතක ඇති නණ ලළ බේදය. හුඟ දෙනෙක් මේක නිසා රන්ඬු වුනා, තරහ වුනා, බැනගත්තා.මේ වෙලාවෙ අපේ මුත්ත තමයි ප්‍රශ්නය   සාමකාමීව විසඳුවෙ.එයා කිව්ව අකුරු හතරකට රන්ඬු වෙන්න එපා කියල. මොන අකුර ගත්තත් කමක් නෑ වැඩේ සිද්ද වෙනවනම් එච්චරයි කියල එයා කිව්ව.අපි උදාහරණයක් හැටියට  "ඇන ගත්තා" කියන වාක්‍යය අර‍ගෙන බලමු.ඇන ගත්තට පස්සෙ මොන න යන්න ගත්තත් වැඩක් නැහැ ඇන ගෙන ඉවරනම්.එහෙමනම් අපිට න යන්න ගැන හිතන්න තිබුනෙ ඇන ගන්න කලින්.ඔන්න එහොමයි මුත්තා භාෂාවෙ ප්‍රශ්න විසඳුවෙ"
පෙරට වඩා හයියෙන් සභාව සිනාසෙන බව කෝලිතයට පෙනිනි.නැවතත් අර ගුරුවරයාට නැගිටීමට සිදුවිය. සභාව නිශ්ශබ්ද විය.
"අපේ පරම්පරාව භාෂාවට විතරක් නෙමේ සේවය කරල තියෙන්නෙ.දැන් බලන්න සිංහල භාෂාවේ ස්වර අක්ෂර දිහා. ඉස්සර තිබුනෙ ස,රි කියන ස්වර දෙක විතරයි.පස්සෙ  ග,ම,ප,ද,නි කියන ඉතුරු ටික හඳුන්වලා දීල සංගීතයත් පෝෂනය කලේ අපේ මුත්ත තමයි.නැත්තං සගීතය කියල විෂයක් නැහැ.ඒකයි හුඟක් සංගීතය ලැදි අය මුත්තගෙ පොටෝ එක්ක තියාගෙන ඉන්නෙ"
මෙවර කලින්ම සිනාව දුන්නේ සංගීතගුරුතුමාය. සභාවේ අනිත් අය ඔහු අනුගමනය කලහ.එසේම මෙවර සභාව පාලනයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූයේ කලින් සභාව පාලනය කල ගුරුවරයා ට ඔහුගේ හිනාව නවතා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ නිසාය.
තව කාලක් තිබුනා නං නියමයි කියා කෝලිතයාට හිතුන වාර අනන්තය.දැන් ඉතින් නවතනු බැරිය. වැඩි වූ විට වමනය එන්නා සේ ඔහුට නොදැනීම වචන ගලා එයි.එසේම කතාවට සභාව ඉතා කැමකි බව ප්‍රතිචාර වලින් පෙනේ.
"ඔබ හැමෝම දන්නව අපේ භාෂාවෙ අන්තිම අකුර මොකක්ද කියල.ඔය අඃ කියන අකුර මුත්ත දැම්මෙ එයාගෙ බිරිඳ සිහිවෙන්නයි. මොකද එයා පන යන වෙලාවෙ කිව්ව එකම වචනය ඒක හින්දයි"
මෙවර දෙකට නැමීගෙන හිනාව පටන් ගත්තේ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාය.ඒ නිසාම සභාව පාලනයට විදුහල්පතිට නැගිටීමට සිදුවිය.
"ඒ වගේම අපි හැමෝම දන්වා කෘදන්ත ගැන.හැබැයි කවුරුත් දන්නෙ නැතුව ඇති ඒක අපිට ලැබුන හැටි.මට මතකයි අපි පොඩි කාලෙ අපේ ගෙදර අයගෙ පනුවො කාපු දත් ගැලෙව්වෙ ඕකෙන් තමයි. අපේ සීය ලෝබ නැතුව සිංහල භාෂාවට මේක තෑගි කල නිසා දැන් අපි හැමෝටම පුළුවන් වෙලා තියනව බාසාවෙන් දත් ගලවන්න.මේක අපිට ලොකු ආඩම්බරයක්'
මෙවර හිටගත් විදුහල්පති කෝලිතයාගේ කතාව අවසන් වන තෙන් වාඩි නොවීමට තීරනය කලහ.
"මට කියන්න තියනව විශේෂ යමක් .ඒ ප්‍රස්ථා පිරුළු ගැන.
උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම.
නයාට ගහලා පොල්ල වරද්දගන්නවා.
බළලා ලව්වා කොස් ඇට බානවා .
අතීසාරයට අමුඩ ගහනවා වගේ.
මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ.
පරංගියා කෝට්ටේ ගියා වාගෙයි.
වගේ එව්වා අපේ ගෙදරින් සිංහල භාෂාවට දායාද කරපුව බව කියන්නෙ බොහොම ආඩම්බරෙන්'

සභාවේ සිනා මැද්දෙම ළමයකු පැමිණ කෝලිතයා අත කුඩා කොලයක් තැබීය.
මට ලබාදුන් කාලය අවසානයි.ඔබ සැමට ස්තූතියි කියූ කෝලිතයා වේදිකාවෙන් බැස එලියට පැන ගත්තේය.

අර කොලයේ මෙසේ ලියා තිබුනි.
"තොගෙ මෙවලම් කපන්න කලින් ගෙදර පල - විදුහල්පති"


4 comments:

  1. සිනාසී තර වීමටයි....................

    ReplyDelete
  2. මනසට සහනයක්......

    ReplyDelete
  3. kolithayage wife inna thibune oyalage gedara

    ReplyDelete