Wednesday, December 18, 2013

හිත මිතුරු සුලඟ........





හරුප පැහැය : මහාචාර්ය සුනිල් ආරියරත්න

නාද පැහැය   : වික්ටර් රත්නායක

හඬ පැහැය    :  වික්ටර් රත්නායක
හිත මිතුරු සුලඟ ළග එන වැහි වලාවට කියන් 
අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලකින් ඈ මුන ගැසේවි හසඟනක් ලෙසින් 
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත 
අඳුරු වෙයි සැනින්
වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින්
මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදේ
කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ
අප සමුගත් පසු වසින්න ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වලා බ‍‍‍‍‍ඳේ
කඩ ඉමෙන් මෙහා
වැස්ස හුළඟ කියන්නෙ සොබාවදර්මෙට අයිති දේවල්. ඒව අපිට පාලනය කරන්ට බැහැ. 
එහෙම  පාලනය කරන්ට බැරි දේකට යාළු කමින් හරි කියල නවත්තන්ටයි මේ පෙම්වතා බලන්නෙ. 
හැබැයි ජෝඩුවක් මුණ ගැහුනවෙලාවට වහිනවනං තමයි වැඩිය කැමති.ඒ, එක කුඩේ යටින් යන්ට පුළුවන් හින්ද. හීතලට ගුලි වෙන්ට පුළුවන් හින්ද. 
හැබයි මේ සින්දුවෙ ඉන්න පෙම්වතා කැමති වැස්ස පායනවනං තමා.එහෛම බලපුවහම සුනිල් ආරියරත්න මහත්තය මේ කියන්නෙ අපි දන්න වැස්ස ගැන වෙන්ට බැහැ.
දැං කාලෙ ජෝඩු වලට හිතේ හැටියට ‍ මුණගැහෙන්ට හැමතැනම නවාතැන් පොලවල් තියනව. හැබැයි සුනිල් ආරියරත්න උන්නැහැ මේ සින්දුවට පද ගොතන කාලෙනං ඔය කිව්ව නවාතැන් පොලවල් හැමතැනම තිබුනෙ නැහැ. එහෙම  උනත් මේ කියන ජෝඩුව මුණ ගැහිල තියෙන්නෙ එහෙම නිදහස් තැනක තමා. ඒ ඉතරක් නෙවි. 

මේ පෙම්වතියගෙ පුද්ගලික සොබාවික කාරනා පවා මේ ඉලන්දාරිය දින වකවානු සහිතවම දන්නව. දෙන්න මුණ ගැහෙන්ටත් කලින් එහෙම දෙයක් හරස් වෙයිද කියල මේ පෙම්වතාට සැකයක් තියනව. 

මේ කතාව එහෙම එකක් වග සුනිල් ආරියරත්න මහත්තය ඉඟි කරපු තැන් දෙකක් තියනව. 
මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
අනන්තයට ඉගිල යමි කෙසේ
මේක දෙන්නෙක් එකතුවෙලා යන ගමනක් වුනත් මේ පද දෙක ඇතුලෙ විතරක් ඇවිද යමු කෙසේ නොකිය ඇවිද යමි කෙසේ කියන්නෙ ඒකයි.හැබැයි ඊට පස්සෙ අප කියල ආයිමත් බහු වචනෙන් කතාකරල තියනව.
අනිත් කාරනාව  තමා අපි මහපොලොව  උඩ   පලාත් ,දිස්ත්‍රික්ක බෙදාගෙන අඳින මායිම් සොබාවදර්මෙට  වලංගු නෑ. ‍
වහින්ට ඕනැ උනහම දිස්තිරික්ක, පලාත් කඩඉම් බල බල ඉන්නෙ නෑ. වහින්ට ඕනැ තැනට වැස්සා. ඒ කියන්නෙ සුනිල් ආරියරත්න මහත්තය ඉඟිකරල තියෙන්නෙ මේ අපි කවුරුත් දන්න වැස්ස ගැන නෙමේ.
 කාරනා කාරනා හංගල,නොදැනෙන්ට මේ වගේ කියන්ට නම් අපේ බාසාව  ගැන වගේම පොදු මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් ගැන හොඳ අවබෝදයක් තියෙන් ඕනැ.
මේ වගේම අලකලංචියක් වෙච්චි ස්වාමිපුරුෂයෙක් කෙනෙක් ගැන කියන තව සින්දුවක් මේ එක්කම මට කියන්ට හිතුනා.

පද ටික කියෝලම ඉන්ටකෝ........
හරුප පැහැය : කේ.ඩී.කේ.ධර්මවර්ධන
නාද පැහැය   : වික්ටර් රත්නායක
හඬ පැහැය    :  වික්ටර් රත්නායක
කණ කැස්බෑ නෙත බලා හිඳිනවා
අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම්පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි
පියන් වසාලා අගුලු දමා තිබු
දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳ කැන් සිහිලස ගලා හැලෙන තුරු
බලා උනිමි එය තවත් නැති
තනිකම ගනදුර - නොනිමෙන කෙඳුරුම
යලි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යලි
කවුළුව වැසුනා අගුලු වැටී
කුඹුර හා ගන්න නම් හරක්ව විය ගහේ බඳින්ට ඕනි.මෙහෙම කාලයක් විය ගහ පාවිච්ච්චි කරන කොට ලණුව දාල තියන  විය සිදුර ගෙවිල ම ලොකු වෙන්ට ඕනි. හරියටම ඔය සිදුර ලඟින්ම විය ගහ කැඩෙන්ට ඕනි. ඇලට විසිකරපු කෑලි දෙක අතර මග රුඳෙන්නෙ නැතුව දොල, ගංඟා හරහා ඇවිත්   මහ මුහුදෙ පාවෙනකොට සුළු මොහොතකදි හා වෙන්ට ඕනි. කණ කැස්බෑව ඔය වෙලාවෙම උඩට එන්ට ඕනි. අහම්ඹෙන් විට සිදුරට ඇහැ හිටින්ට ඕනි. හඳ එලිය ඇහැට වැටෙන්ට ඕනි.

ඔය කියන ඔක්කොම දේවල් සම්පූර්ණයි කියමුකො.එදාට මාසෙ පෝය නං?

මේ සින්දුවෙන් කියන සවාමිපුරුෂයටත් වෙලා තියෙන්නෙ ඔය කියන දේම තමයි.

තමන්ගෙ බිරිඳ මෙයා එක්කල අමනාපයක් වෙලා ඉන්ට ඇති. එයාගෙ උණුහුම නැතුව ලතවෙවී  ඉඳල ඉඳල ,ගැටළුව යංතං අකා මකා දාගත්ත විතරයි වෙන්ට ඇති.

කාලයකට පස්සෙ, නැති වෙච්චි උණුසුම හොයාගෙන යනකොට අර කලින් සින්දුවෙ වගේම සොබාවික කාරණයක් හරස්වෙලා.සුපුරුදු උරුමය කියල කිව්වෙ ඒ ගැන තමයි.

ඒ වගේම ධර්මවර්ධන මහත්තය ඔතන සඳ කියල උපමා කලේ මුහුණට නං නෙමේ.

මෙච්චර සංවරේට වචන වලින් චිත්‍ර අඳින්ට පුලුවන් කීයෙන් කී දෙනාටද.

එකම කාරනාව උනාට මේක දෙවිදයක කතාවක්.

හුලඟට යාළු කමින් කතා කරන  පෙම්වතාගෙ හිතේ උඩ පනින  නොයිවසිල්ලයි,

හඳ සිහිල විඳගන්ට වලිකන ස්වාමියගෙ ලතැවිල්ලයි,

ඒවායෙ පද වලට ඔබින ආකාරෙටම වික්ටර් රත්නායක උන්නැහැ නාද සිත්තම් කරල තියනව.

ඒ වගේම ඒක තමන්ටම උන විදියට තමයි පපුවෙන්ම හඬ පැහැය එකතු කරල තියෙන්නෙ.

  

1 comment:

  1. සිත් ඇදගත්ත කතාවක්...❤️🥺

    ReplyDelete