Wednesday, January 8, 2014

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී......



හරුප පැහැය  අරිසෙන් අහුබුදු  ගෙනි

අමරදේවයන් හා පිරිසගේ හඬ පැහැයට නාද පැහැය අමරදේවයන්ම විසිනි


සුනිල් ශාන්ත/අයිවෝ ඩෙනිස්/නාලනී රණසිංහගේ  හඬ පැහැයට නාද පැහැය සුනිල් ශාන්තයන් විසිනි

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී - මී වදවලැ පැණි පුරවන්නී

කුරුළු සරින් කන් පිනවන්නී - මුළු ලෝ උයනක් කරවන්නී



ජම්බු ගහට රත පුරවන්නී - බක්මී ගහ කහ අන්දන්නී

අඹ දළු ලා රත තවරන්නි - ලෝ සත විසිතුරු කැරැලන්නී



එරබදු පැහැයෙන් දුලවන්නී - නා ගස් සුවඳින් බැඳැලන්නී

විලේ නෙළුම් මල් පොබයන්නී - කෙකටිය ටිය අත පනවන්නී



ගමේමැ කුකුලන් නිදවන්නී - තුරුල් බවට වවුලන් ලන්නී

මෙතැන වවුලු පල වල් වෙන්නී - ගම් දරුවන් හට වැඩ දෙන්නී



මල්සර හට හී සපයන්නී - යොවුනන් සිත් ඉන් බැඳැලන්නී

එක දෙක එක් කැරැ ඈඳන්නී - නොමිලේ කපුකම් කරවන්නී



වෙන්වූවන් සිත කලඹන්නී - පරණ තරහ ඇම යට ලන්නී

ආයෙත් එකමුතු කරවන්නී - පවුල් අවුල් විසඳාලන්නී

සින්දුව අහන්න කලින් මේ පදටික හොඳින් කියවන්න.
මේක ඉතිහාසගත සින්දුවක්. සිංහල සංගීතයේ විශාල පරිච්ඡේද දෙකක් ලිපපු දෙන්නෙක් වෙන වෙනම මේ සින්දුව ගයල තියනව.හෙල බස වියතෙක් වන අහුබුදු මහත්තය මේකට පද වියල තියනව.අහුබුදු මහත්තය අපූරු වැඩක් කරල තියනව.ඒ තමයි, සුනිල් ශාන්තයන් ට වගේම අමරදේවයන්ටත්  මේ සින්දුව වෙන වෙනම දුන්න එක.ඒක එහෙම උනේ ඇයි කියල කියන ඉතිහාස කතාව මට හොයාගන්න ලැබුනෙ නැහැ.
කොහොම වුනත්,සිංහල අළුත් අවුරුද්ද නිසා විඳපු සතුටට තමයි මේක ලියවිලා තියෙන්නෙ.සොබා දහම කියන්නෙ මාතාවක්.ඇය අපි වෙනුවෙන්, පරිසරය අපූර්වත්වයට පත් කරන්න කරන මෙහෙය ගැන හරිම සියුම් විදියට පද හසුරවල තියනව.
ලංකාවෙ අපිට සෘතු භේදය තදින් දැනෙන්නෙ නැහැ.ඒ වුනාට මාර්තු,අප්‍රේල් වෙනකොට පරිසරය මවන මිහිරියාව අවුරුද්දෙ වෙන කොයි කාලෙකටත් වඩා වෙනස්.අහුබුදු ශූරීන් කියන්නෙ සොබා දම් මාතාව මේ කාලෙට හැමෝගෙම හිත් ආදරය සෙනෙහස වගේ හොඳ සිතුවිලි වලින් පුරවනව කියලයි.හුඟක් මංගල හා සුබ කටයුතු මේ කාලෙට වැඩියෙන් යෙදෙන්නෙත් ඒ හින්ද වෙන්න ඇති.
ඔය තියෙන්නෙ සුනිල් ශාන්ත මහත්තය ගායනා කරපු පද වැල් ටික තමයි.හෙල සංගීත රටාවක් ඇතිකරන්න වෙහෙසුන මෙතුමා තමන්ගෙ සින්දුවලට කෝමල ස්වර යොදාගත්තෙ බොහොම අඩුවෙන්.වැඩිපුර භාවිතා කලේ ශුද්ධ ස්වර විතරයි.ඒකයි, ඒ ගායනයෙයි සංගීතයෙයි අපුරු වෙනසක් දැනෙන්නෙ.
හැබැයි සුනිල් ශාන්ත මහත්තය භාවිතා කරපු පදවැල් ඔක්කොම අමරදේව මහත්තය එයාගෙ ගායනයෙදි භාවිතා කරල නැහැ.එතනදි සිංහල අවුරුදු කාලෙ ගැන අදහසක් දෙන පද වැල් අයින් කරල.සොබාදම් මාතාව  ගැන අදහසක් දෙන පද විතරක් තෝරාගෙන තියනව.
   
                                                   

No comments:

Post a Comment