Wednesday, February 12, 2014

වෘෂභ ඇත්තෝ...............




" ස්වාමීනි මම රාත්‍රියේ දැක්කා නපුරු දර්ශනයක්.කළුපාට ශක්තිමත් තරුණ ගවයින් හතර දෙනෙක්, සතර දිසාවෙන් පැමිණ  සටනට සූදානම් වන විට එය නැරඹීමට ඉතා උනන්දුවෙන් සතර දිසාවෙන් මහජනයා   පැමිණ සිටියා.නමුත් ඔවුන් ගර්ජනා පමණක් කර සටන් නොකර ඒ මේ අත පලා ගියා."
" මෙය මට හෝ රාජ්‍යයට හෝ සම්පත් වලට හෝ විපතක්ද ස්වාමිනි?"
"රජතුමනි,මේ විපත ඔබට හෝ අපට සිදුවන්නේ නැහැ. අනාගතයේදී නපුරු මිනිසුන් බිහිවු කල්හි ලෝකයේ යහපත අයහපතට පෙරලෙනවා.ධර්මය අධර්මයට මාරු වෙනවා.යුක්තිය අයුක්තියට පෙරලෙනවා. මේඝ ගර්ජනා කරමින් සතර වටින් වැහි වලාකුළු එකතු වෙනවා.මිනිස්සු නොයිවසිල්ලෙන් මේ වෙනසට සූදානම් වෙනවා.නමුත් වහින්නේ නැතුව යනවා.හරියට අර ගවයින් වගේ"
මම මේ කිව්වෙ  කොසොල් රජ්ජුරුවො දැකපු හීනයක් අපේ බුදුහාමුදුරුවො ලිහාපු ආකාරෙ  ඕං.
හැබැයි අපි, මුන්නැහැලගේ වාසනා ගුණය හින්දම මේ ලොක ගෝලෙ ඇතුලෙ තවම එහෙම දීපයක් බිහිවෙලා නැහැ.
ඒ උනාට උන්වහන්සේ දේසනා කරන්ට ඇත්තෙ අනාගතේ, ලෝකෙ කොහේ හරි කොදෙව්වක සිද්දවෙන්නෙ මෙන්න මේ ටික කියල, සතවර්ස ගානක් ඉස්සරහ පේන මගෙ මොල ගෙඩියට  දැනෙනව.ඒ මෙහෙමයි....

අපි හිතමුකො ඔන්න ඒ අනාගත රටේ මැති ඇමති කෙනෙක් වෙන්ට,එහෙම නැහ්නං මන්තිරි ගොබිලෙක් හරි වෙන්ට කියල, ජහමනයාගෙන්  මනාප එකතු කරන කාලයක් එනව කියල.  
ඊට පස්සෙ වේදිකා උඩයි, රූපපෙට්ටියෙයි, වෑරලැස් එකෙයි  අපේක්සකයො කියන ඇයො එක එකාට මේග ගර්ජනා කරන්න පටන් ගන්නව. ඒත් සිද්ද වෙන මොන කෙංගෙඩියක්වත්  නැතුව යනව.  කලින් උං මුකුත් කරල නැතිය.ඒක නිසා රටට යහපතක් කරන්ට නං තමන්ට මනාපෙ දෙන්ට කියල  හැම එකාම කියන්ට පටන් ගන්නව.බලේ ඉන්න උං කියනව තව ටික කාලයක් කරන්න ඉඩ දෙන්නැයි, එතකොට  සම්පූර්ණ කරනවැයි කියල.
ඔන්න ඒ එක්කම  අවනීති සැනකෙලිය ඇරඹෙනවා. ඊට පස්සෙ මුන්නැහැල ජහමනයාගෙ මනාපෙ අරගෙන මැති ඇමති වෙනව. හැබැයි ඔය උන්නැහැල   මැති ඇමතියො වෙන්ට ඉස්සර , ඒ කියන්නෙ ඔය සැනකෙලි සමයෙදි  උන්නැහැලගෙ අතින් මෙන්න මේ වගේ "සුළු සුළු වැරදි" වෙනව. එක එක ඇමති උත්තමය ගැන මම වෙනම කියන්නං...

ප්‍රවාහන හා මහාමාර්ග ඇමති
ඔය නාම යෝජනා කියන එව්ව දුන්නු දවසට පෙලපාලි තහනං උනාට එදාට දිගම වාහන පෙලපාලි දකින්න පුළුහං වෙනව.ජහමනයාට අවහිර වෙන විදියට  වාහන පෙලපාලි හෝරා ගණන් පාර හිර කරල තියනව. මිනිස්සු යන පාර හරස් කරල මුන්දැ ‍දේසපාලන අට්ටාල හදනව. තීන්ත වලින්, පාරෙ මනාප අංක අඳිනව.
හැබැයි ඊට පස්සෙ මෙයාම ඇමති වෙලා ,
කවුරු හරි අහිංසකයෙක් හදිස්සියට හරි කහ ඉර ඇර වෙන තැනකින් පාර පැන්නොත් දඩ ගහන්නයි නඩු දාන්නයි කියල නීති හදනව. 

පරිසර ඇමති
පරිසරය නැති කරන පොලිතින් මෙට්ටිරික් ටොන් පහක හයක විතර කොඩි වැල් මේ කාලෙට ලෙලදෙන්න පටන් ගන්නව. මුනත්තහඩුව දාල  තැන් තැන්වල දැන්වීම් අලවල හැම තැනම කැත කරනව.මහ රෑ ජාමෙ වෙනකම්ම ගිරිය කඩාගෙන යකඩ කටින් කෑ ගහල සබ්දය දුසනය කරනව.මනාප අංකෙ තියන කොල කෑලි පාර පුරා විසිරුවාගෙන යනව .මනාප අංකෙයි නමයි මහ පාර පුරාවට අඳිනව.
හැබැයි ඊට පස්සෙ මෙයාම ඇමති වෙලා,
ඉලව් ගෙදරකට සුදු පොලිතින් කොල කැල්ලක් වත් එල්ලන්න එපා කියල නීති හදනව. ලිපට දාගන්න කැලෙන් දර කැල්ලක් බිඳ ගත්තොත් අල්ලල හිරේ දාපං කියල නීති හදනව.

අධ්‍යාපන ඇමති
අනිත් පක්සවල උන්ට විතරක් නෙමේ, සමහර වෙලාවට මනාප වලට තරඟෙට පොරකන තමන්ගෙම පක්සෙ එකාටත් අම්ම මෝ නැතුව පොරසිද්දියෙම අමු තිත්තෙන් බනින්න පටන් ගන්නව.විබාග තියන දවස් වලටම, ඉස්කෝල ගාව ‍දේසපාලන අට්ටාල හදාගෙන යකඩ කටින් කෑගහල පොඩි එව්වන්ගෙ ඉගෙනීම කඩාකප්පල් කරනව.
හැබැයි ඊට පස්සෙ මෙයාම ඇමති වෙලා,
හොඳම දේ ළමයින්ට කියනව.

සෞඛ්‍යය ඇමති
රැස්වීම් තියල පෙලපාලි ගිහිල්ල හෝරා ගනන් පාරවල් වහනව.වාහන ඇතුලෙම හිරවෙච්ච බඩදරු අම්මලට එතනම ළමයි හම්බු වෙනව. ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලවලට යාගන්ට බැරුව මහ මග මැරෙනව. ඉස්පිරිතාල ගාව ‍දේසපාලන අට්ටාල හදාගෙන යකඩ කටින් කෑගහල ලෙඩ්ඩුන්ගෙ ලෙඩ වැඩිකරනව. තමන්ට සහයෝගයට පස්සෙන් එන හැමෝටම මත්වතුර බොන්ට දෙනව.විරුද්දව එන උන්ට ගහල ,අතපය කඩල වෙඩි තියල පලිගන්නව.
හැබැයි ඊට පස්සෙ මෙයාම ඇමති වෙලා,
නරක් වෙච්චි එලවළු පළතුරු විකුණන තැන් හොය හොයා යන්ට පටන් ගන්නව.
         ===========================================
ඔන්න ඔය වගේ මුළු කොදෙව්ව පුරාම එතුමන්ලාගේ අව නීතිය රජ කරන්ට පටන් ගන්නව.
ඔය අස්සෙ වැරලැස්,රූප පෙට්ටි, පත්තර වගේ තැන්වල ආදායම් වැඩිවෙනවා. ඔය දැන්වීම් අච්චු ගහන කන්තෝරු වලට වැඩ වැඩි වෙනව.ඔය හින්දා වියාපාරිකයො, මනාප ඉල්ලන හැමෝටම හොර රහසේ සන්තෝසම් දෙන්න පුරුදු වෙනව.
          මනාප ඉල්ලන ඈයො අලවන, එල්ලන දැන්වීම් ගලවන්න පොලීසි කියන එව්වට ආණ්ඩුවෙන් සල්ලි එවනව.රාජකාරි හරියට සිද්ද නොවුවත් වෙන් කරපු සල්ලි ඉවරවෙනව.
මනාපෙ පෙන්වන්නට තියන දවසට ජහමනයා අං දික්කරගෙන ගිහිල්ල තමන්ව වැඩිපුර රවට්ටපු එකාගෙ නම ඉස්සරහින් කතිරයක් ගහල එනව.
         සාධූ.............සාධූ..........සාධු..............


3 comments:

  1. හීන දාසයේ අනිත් ඒවත් මේ වන විට අපි යහමින් අත් දකිනව නේද?

    ReplyDelete
    Replies
    1. ඒවත් මේ වගේම දැණුනොත් ලියන්නං..........

      Delete