Friday, April 25, 2014

මහ ඝන වනන්තරේ........



හරුප පැහැය :                ?
නාද පැහැය   : ආර් මුත්තුසාමි
හඬ පැහැය   : මිල්ටන් පෙරේරා

"අල්ලපු ගෙදර" රිදී සිත්තමෙන්,


මහ ඝන වනන්තරේ - ලොවෙ ඈත කෙළවරේ

සැළලිහිණී ගිරා මලිති බටිති

රෑනක් අතරේ



ඇය ඔකඳ වෙමින් රඟන විටදි හැංගිලා

මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා

වන මලක් වෙලා ජනිත වුනොත් එම කැලේ

මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ



ඇය සා දෙනෙකුව දිව යයිනම් බිය වෙලා

ඉමි උඳුපියලිය පලස විලස වැතිරිලා

දිය පාරක් වී බැස යන කල වන පෙතේ

මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ

අල්ලපු ගෙදර කියන රිදී සිත්තම නරඹපු අය දන්නව ඇති ඒක මොන තරම් අපූරු රිදී සිත්තමක්ද  කියල. ඒක හින්දි රිදී සිත්තමක කොපියක් වුනත් කතාව,දෙබස්, තිර රචනය වගේ හැමදේම  අපිට ගැලපෙන විදියට  නිර්මාණය කරල තිබුනා නිසා අදටත් ඒක හිතේ රැඳිලා තියනවා.ඒ වගේම තමයි ඒකෙ තිබුන සින්දු.ඒව කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ.සාගර රැජිනට ආදරෙයි කියා,ලේ පිපාසත ලෝ තලේ,සැතපෙන කල විඳ නිදි සුවේ,ලිඳ තුල මැඩිවුන මැඩියා,පියා සලන ඉගිල්ලී වගේ  එකකට එකක් වෙනස් සින්දු ඒ අතර තියනවා.

මහ ඝන වනන්තරේ සින්දුව ඒ අතරිනුත් බොහොම ඉහල තැනක තියන්න පුළුවන් සින්දුවක් කියල මට හිතෙනව.සින්දුවලට පද ලියන ආධුනිකයන්ට උදාහරනයකට අරගෙන පෙන්නන්ට පුළුවන් ඉතාම හොඳම සින්දුව මේක කියලයි මට හිතෙන්නෙ.ඒ මොනවත් හින්ද නෙමෙයි දැන් ලියවෙන බොහොමයක්  සින්දු මොන තරම් උපමා අහේනියකින් පෙලෙනවද කියල ඒව ඇහෙනකොට දැනෙන හින්දයි.සොබාවදර්මෙ මුළු සකල සරීරෙන්ම ඉව කරවනම් තමන්ගෙ නිර්මාණ එලියට දාන්ට කන්දක් තරම් විළිලන්ට ඔන නැතිවග මේ සින්දුවෙන්ම පේන්ට තියනව.ඒ වගේම තමයි තේරුම් ගන්ට බැරි තරම් මහාප්ප්‍රාන මුකුත් මේ සින්දුවෙ නැහැ.ආදරේ තරමටම සින්දුවත් සරලයි.

මේ පෙම්වතා සහ පෙම්වතිය මොන තරම්  දෙන්නට දෙන්න බැඳිල තියනවද කියන එක උපමා වලින් පේනට තියනව.ඒ බැඳිම මොන තරම්ද කියනවනම් එක්කෙනෙක් නැතුව අනෙකාට ජීවිතයක් නැතිබවත් කියනව.
මලක් නම් සුවඳ තියෙන්ට ඔනැ.එයා මල නම් මම ඒකෙ සුවඳ කියල කියනව.

මෙතෙක් කිසිම සින්දුවක දැකල නැති උපමාව තමයී මෙන්න මේක.

ඇය සා දෙනෙකුව දිව යයිනම් බිය වෙලා

ඉමි උඳුපියලිය පලස විලස වැතිරිලා

මේකට කියන්නෙ වචන ලියනව නෙමේ වචන අඳිනව කියල.සොබාවදර්මෙත් එක්ක ඈඳිච්ච රචකයගෙ පරිකල්පනය මොන තරම්ද කියල පේනව නේද.
ඊලඟ උපමාවත් එහෙමමයි.

දිය පාරක් වී බැස යන කල වන පෙතේ

මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ

කුඹුක් ගහ හින්ද ගඟට ලස්සන දෙනව,සිසලස දෙනව,ඉවුරු ආරක්සා කරනව.ඒ විතරක් නෙමේ ගඟේ වතුර පිරිසිදු කරනව.

ආදරය ගැන වෙන මොන කතාද.

අවාසනාවට මේ සින්දුවෙ වචන ඇන්ද කෙනා කවුද කියල හොයාගන්ට බැරිවුනා.

          
                          

2 comments:

  1. Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

    ReplyDelete
  2. මේ සින්දුවෙ වචන ඇන්ද කෙනා කරුණාරත්න අබේසේකර ශූරින්.

    ReplyDelete