Friday, July 4, 2014

වහිනව නම් වැහැපන්



හරුප පැහැය : ඉන්ද්‍රපිය උදිත කුමාර
හඬ පැහැය  : සහන් චාමිකර පෙරේරා
නාද පැහැය :ලහිරු ප්‍රමෝද් කෝන්ගහගේ

වහිනව නම් වැහැපන් - අකුණු ගහන හෙන පුපුරන
විදුලි කොටන මහ වැස්සක් - මුරුගසන් වැස්සක්
කව් සිළුමිණ මම කියවා - කවි පද තේරුණේ නැතුවා
සිංහබාහු මම බැලුවා - ප්‍රේමය හමුවුණෙ නැතුවා
මනමෙ කතාවත් දුටුවා - ආදර හැඟුමන් නැතුවා

face book එකේ ලොග් වී දවස් ගණන් නිදි මැරුවා
internet Café  එකේ - ඇති පදමට කල් මැරුවා
අනේ ප්‍රේමය නම් හමු වුනේ නැතුවා

බල්ලො එක්ක බෑ  බැලුවා - චංගුමී හීනෙන් දුටුවා
ටයිටැනික් මම බැලුවා - Mega Drama මම බැලුවා
අනේ ප්‍රේමය නම් හමු වුනේ නැතුවා

රුචිරාණනේ අහන්න
වැදිරජුගේ කඩුව අරන් 
එක පාර මා මරන්න  

හැබෑ ආදරය කියන්නෙ පරිත්‍යාග කරන දෙයක් විතරයි. ඒකට ආපහු ලැබෙන දෙයක් නැහැ.ලැබෙන නෙවෙයි, බලාපොරොත්තු වන දෙයක් නැහැ. කොටින්ම, ඒක පුදන කෙනා පෙරලා  ආදරයක් වත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.එහෙම කරනවනම් ඒක ආත්මාර්තකාමි කම වෙනව. මේ කියන්නෙ පෙම්වතුන් ලඟ තියන ආදරය විතරක් නෙමෙයි මවපිය වගේම දාරක ප්‍රේමයටත් මේක පොදුයි. ආදරය ගැන කියන  එක එක විදියෙ සාහිත්‍ය  කෘති අපේ ඉතිහාසයෙ ඉඳන් මේ දක්වා හැදිල තියනව. කව් සිළුමිණ ඉදන් මෙගා නාට්‍ය දක්වාම ආයිමත්, ආයිමත් මතකෙට අරගෙන පුදන්න තරම් හිතෙන ප්‍රතිරූප  ඒවායෙ ඉන්නව. ඇත්තට ඒවායෙ තියෙන්නෙ අර මුලින් කිව්ව පරිත්‍යාශිලී ප්‍රේමයද කියල නැවත හිතන්න වෙනව. පබාවතී අහිමිවෙනකොට කුස රජතුමා හැසිරෙන්නෙ ආත්මාර්ථකාමියෙක් ලෙසට නෙමෙයිද.දරුවන් අළුත් ලොවක් සොයා යනකොට, එයට වියරු වී සිංහබාහු කතාවෙ සිංහයා හැසිරෙන්නෙ සැබෑම වූ දාරක ප්‍රේමයෙන්ද.
දැන් දැන් බිහිවෙන සාහිත්‍ය නිර්මාණ වල පොඩි වෙනසකට තියෙන්නෙ කතා නායකයින්ගෙ හැසිරීම විතරයි. අහිමි ආදරයට එරෙහිව පෙම්වතුන් කරන කැලඹිල්ල ඒවායෙ එලිපිටම පෙන්වනව.එක පාර මරල දාන්න කියල ප්‍රේමවන්තිට කියනව.ඒ විතරක් නෙමෙයි ඒ නිර්මාණවල ඇති සාහිත්‍ය ගුණයකුත් නැහැ.
කොහොම වුනත් ඔය හැම තැනකම අඩු වැඩියෙන් තියෙන්නෙ සඳ එළිය සේ පිරිසිදු ප්‍රේමයද කියල නැවත නැවත ප්‍රශ්ණ කරන්න වෙනව.
අහම්බෙන් වගේ මගෙ අතට ලැබුන, පන්නිපිටියෙ ධර්මපාල විද්‍යාලෙ දරුවොයි ගුරුවරුයි එකතුවෙලා, කලා උළෙල වෙනුවෙන් නිකුත්කරපු " කිරි කෝඩු සිනා" කියන සංගත තැටියෙ තිබුන සින්දුවක් තමයි ඔය.
ඔය සින්දුවෙ මම දැක්ක විශේෂතා තුනක් තියනව. එකක් තමයි රචකයා, අපි දන්න, රසවිඳින අධ්‍යයනය කරන දැවැන්ත නිර්මාණ කියන්න හදන දේ සුපුරුදු ආකාරෙටම හිස් මුදුනින් තබා නොගෙන ප්‍රශ්ණ කිරීමට ලක් කිරීම.අනිත් එක තමයි හඬ හසුරුවන ගායකයා තවම පාසැල් යන දරුවෙක් වීම.තුන්වෙනි කාරනය තමයි මේකට ඈඳුන තුන්දෙනාම නවකයින් වීම.
මේ සින්දුව නිර්මාණය කරන්න ඇත්තෙ කළා උළෙල ඉලක්ක කරගෙන් වෙන්ට පුළුවන්. හැබැයි සින්දුවක් පරම්පරා ගණනක් රැඳෙන්න නම්  ඒකට භාවිතා කරන පද පවා බොහෝ කල් පවතින ඒවා වෙන්ට ඕන.ඒ විදියට බලනකොට  චංගුමී,බල්ලො එක්ක බෑ,ටයිටැනික් වගේ දෙවල් යොදාගැනිම ගැන ආයිමත් හිතන්න වෙනව. ඉංග්‍රීසි පද වුනත් නොදා හිටියනම් තවත් හොඳයි කියල මට හිතෙනව.
වර්තමානයෙ සංගීත ශිල්පීන් කියල කියාගන්න බොහෝ තරුණයින්ට අපූරු පාඩමක් මේ නවක සංගීත ශිල්පියා  සින්දුවෙන් කියල දීල තියනව.

No comments:

Post a Comment