Tuesday, October 28, 2014

සඳ එළිය ගඟක් වී......



හරුප පැහැය : මහාචාර්ය සුනිල් ආරියරත්න
නාද පැහැය  : සරත් දසනායක
හඬ පැහැය : නන්දා මාලනී


සඳ එළිය ගඟක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඩු නඟයි
අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ

මල් සුවඳ රටක් වී
මා නුවන් සයුරේ
ඒ රටට අඬ ගසයි
අනේ අපි කවදාක
හිනැහෙමුද ඒ රටේ

කිරි සිහින සඳක් වී
මා නුවන් අඹරේ
සිනාසී අත වනයි
අනේ අපි කවදාක
ඇවිදිමුද ඒ සඳේ

අපි හැමෝටම හීන තියනව.අපි හැමෝම අපිටම කියල හදාගත්ත මනස් සෘෂ්ටින් (fantasy) තියනව.ඒව හරිම අපූරුයි ලස්සනයි.ඊලඟට අපි ඒ හීන, බලාපොරොත්තු බවට පත්කරගන්නව. ඊටත් පස්සෙ ඒව අද නැතත් හෙට හැබෑවෙයි කියල ජීවත් වෙනව.බොහොමයක් හීන, හීන විතරක්ම වෙනව.එහෙම දැන දැනත් අපි ඒව දකින්නට ආස කරනව.

මිනිස්සුන්ගෙ අද හැසිරීම තීරනය කරන්නෙ එයාලගේ අනාගතයයි කියල ඇල්ෆ්‍රඩ්  ඇඩ්ලර් කියන මනෝ විශ්ලේෂකයා කියල තියෙන්නෙ ඒ හින්ද වෙන්ට ඇති.

පාරෙ මග තොටේ විතරක් නෙමේ ගෙදර ඉන්න කොටත් අනාරක්ෂිත බව අපි හැමෝගෙම හිත් ඇතුලේ අවිඥ්ඥානිකව හැංගිලා තියනවා. ඒ මොනවත් හින්දා නෙමෙයි හොඳ අය වගේම නරක අයත් අපි අතරෙ ඉන්න නිසා. ඒ අය ඊලඟට මොකක් කරයිද කියල අපි දන්නෙ නැති නිසා.අන්න එහෙම නැතුව,

මේ අපි හැමෝම කවදාහරි දවසක යහපත් අය වෙනව නම්,

හැමෝම හැමෝටම ආදරය කරන දවසක් එනවා නම්,

හැමෝම හැමෝටම ප්‍රේම කරන දවසක් එනවා නම්,

හැමෝම හැමෝටම  හදවතින් සුබ පතන දවසක් එනවා නම්,

හඳ එළිය වගේ සිහිලැල් වෙනව නම්,

මල් වගේ හැමෝම සුවඳ විහිදයි නම්,

කිරිසිනා දෙන හැම දරුවෙක්ම මගේ කියල සිතන දිනක් එයි නම්...............;

මනුෂ්‍යත්වයට ආදරය කරන මිනිස්සු හැමදාම ඔය හීනය දකිනව.නන්දා මාලනී නෝනත් ඒ හීනය දකිනව.සුනිල් ආරියරත්න මහත්තය වචන වලට පෙරලපු ඒ හීනය බලන්න  වහගත්ත   ඇස් වලට, සරත් දසනායක මහත්තයගෙ නාද සිත්තම අඳුන් තවරනව.
සින්දුව පුරාවටව ඇඬවෙන අර වයලීනය, ඒ හීනය දිගේ යන්න අපිට ආරාධනය කරනව.

                                   
                                          

4 comments:

  1. අපි ඊලඟ මොහොතේ මොකක්ද කරන්නේ කියල අපිම නොදන්න නිසාම අනෙක් අය ගැනත් එහෙම්ම හිතනව මගෙ හිතේ

    "මිනිස්සුන්ගෙ අද හැසිරීම තීරනය කරන්නෙ එයාලගේ අනාගතයයි කියල" මේක නිකම් චිත්‍රපටියක තේමාවක් වගේ සොයල බලන්න ඕන

    ස්තූතියි ඔබට!

    ReplyDelete
  2. "මේක නිකම් චිත්‍රපටියක තේමාවක් වගේ සොයල බලන්න ඕන"
    තිස්සට හරි අපූරු අදහස්නෙ එන්නෙ

    ReplyDelete
  3. මා හිතනවා ඔබ හරිම අපූරුවට ඒ ගීතය පහදලා තියෙනවා. අනේ අපි යළි කවදාක නම් මේ වගේ ගී අහමුද..?

    - අයෝමාල් පීරිස්

    ReplyDelete
  4. ගොඩවුනාට ඔබට තුති..අයෝමාල්

    ReplyDelete