Friday, January 24, 2014

බිඟු වැලපීලා......



හරුප පැහැය : කේ.ඩී.කේ.ධර්මවර්දන   
නාද පැහැය   : ප්‍රියා සූර්යසේන
හඬ පැහැය    :  ප්‍රියා සූර්යසේන

බිඟු වැලපීලා - මල් පරවීලා
තරු ගිලිහිලා - සඳු සැඟවීලා
අඳුරේ වෙලීලා - මග නොපෙනීලා
ඇය වෙන්වූවා - මා තනිවුවා

මුදු සීත නිල් විල් තලා
අසල හිඳිමින් ලංවෙලා
පැවසු වදන් ඈ එදා
මතකේ රැඳේ

මොහොතින් ඇඳී - සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

සිටි සමනලුන් කල්  බලා - එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා - නොසිතූ ලෙසේ

මොහොතින් ඇඳී - සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

සරසවි ජීවිතේදි තමන්ගෙ කණඩායමේ එහෙම නැත්නම් "කඩේ" ඉන්න කෙනෙකුගෙන් කැමතියිද කියල අහන්න ඉක්මන් වෙන්නෙ නැහැ.මොකද, ඉතින් හැමදාම ඇලි ගැලී වාසය කරනවනෙ. ගමන් බිමන් යන එක, කන බොන එක පාඩම් කරන එක විතරක් නෙවි රණ්ඩු සරුවල් වෙන්නෙත් මේ කඩේ ඇතුලෙම තමා.ඒක නිසා ප්‍රේම කරමු කියල අහන්න එච්චර හදිසියක් නැහැ.හැබැයි අන්තිමේ කවුරුත් දන්න පොදු අත්දැකිම තමයි, පිට කඩේක කෙනෙක් ඇවිල්ල මේ කඩෙන් බඩු අරන් යන එක.
ඕකට සරසවියෙ ඉලන්දාරි කියන්නෙ දුන්න බත් ඩිංගට පූස ඉව අල්ලනකොට අහක ඉන්න බල්ල ඇවිල්ල කාල යනව කියල.
මේ පොදු අත්දැකිම මේ සින්දුවට සැහෙන දුරට ඔබාගන්ට පුළුවන් වුනාට ඊට වඩා  දුක්බර කතාවක් මේ පෙම්වතාට තියනව.

මෙයා තමන්ගෙ පෙම්වතීට හැබැහින්ම ආදරය කරල.ඒ ආදරයට රාගය ඉස්සර කරල නැහැ.ඒ නිසා ඇයට ලංවෙලා ප්‍රේමයේ විසිතුරු බව කියාදීල.පැහැදිලිව, ඈත පෙනෙන ප්‍රේමයේ මුදු මාවත දිගේ පරෙස්සමට එක්කගෙන ගිහිල්ල.ඇය ඒ හැම දේටම ප්‍රතිචාර දක්වල. ඒ ගැන තමයි  පලවෙනි අන්තරා කොටසින් කියන්නෙ.

හැබැයි මේ යන ගමන්, පෙම්වතා වෙන පාරකට හැරෙයි කියල ඇය බලාපොරොත්තුවෙන් ඉඳල.ඒක නොවුනු තැන ඇයට තවදුරටත් ඉවසන්න බැරිවෙලා. ඉදිරිය ඇය විසින්ම අඳුරු කරගෙන. මග නොපෙනිලා.සියල්ල මොහොතින් විනාශ කරමින් ඇය වෙන්වෙලා.සින්දුව පටන් ගන්න පද ටිකෙන් මේ ගැන කියනව.

දෙවෙනි අන්තරා කොටසින් මේ පෙම්වතා අපූරු කතාවක් කියනව.
"මම මලෙන් රොන් ගන්නනෙ නැහැ කියල හිතන් හිටියෙ නැහැ.හැබැයි ඒ හැම දේටම වෙලාවක් කලාවක් තියනව.ඒ මොකද මම බඹරෙක් නෙවෙයි සමනලයෙක් නිසා. ඒක ඇයට තේරුනේ නැහැ.ඇය ඉක්මන් වුනා.ඒ නිසා බඹරුන් අතින් විනාශ වුනා"

මේ හැම දේම මේ පෙම්වතාට හීනයක් වගේ.පාට හතම තියන, ඇති වෙලා මොහොතින් නැති වෙන, නොබලාම බැරි, චමත්කාරජනක දේදුන්න වගේ.
වැස්සට අධිපති දෙවියන් තමයි ඉන්ද්‍ර කියන්නෙ.එයාගෙ දුන්න තමයි දේදුන්න. ධර්මවර්දන මහත්තය දේදුන්න කියන පදය නොයොදා, ඉඳු දුන්න කියන පදය‍ යොදල  සින්දුවෙ හරය විතරක් නෙමේ අලංකාරයත් වැඩිකරලයි තියෙන්නෙ.

පොඩියක් හෙමින් බැලුවොත් පෙනේවි, මේ ලොකු කතාව කියන්න මොන තරම් සරල  බස් වහරක්ද ධර්මවර්දන මහත්තය යොදාගෙන තියෙන්නෙ කියල.ඒ වගේම තමයි ඒ පද මාරු කරල ගලපල තියන අපූරුව.දෙවෙනි අන්තරා කොටසින් ඒක හොඳට බලාගන්න පුළුවන්.


මේ වගේ නිර්මාණ කරන්න නම් සම්භාව්‍ය කවිය වගේම ජන කවියත් හොඳින් ඇසුරු කරල තියෙන්න ඕනැ.ඒ වගේම ඒව තමන්ගෙ නිර්මාණ වලට හරි විදියට යොදාගන්න පුළුවන් වෙන්නත් ඕනැ.මට මිතුරියක් මෙන්න මේ පොත බලපන් කියල පොතක් ගෙනත් දුන්නා.ඒ ‍පොතේ මේ ජන කවිය තිබුනා.
          කල් බලා සිටිය සමනලයින්                   පන්නා
          මල් තලා වැලෙක බඹරුන් රොන්          ගන්නා
          පුල්ලියා කන්ද දුටුවම                           නවතින්නා
          පල්ලමේ සෙමෙන් දක්කව් ගොන්          දෙන්නා
 

මේ සින්දුවෙයි "ඔසරි පොටින් අදින්නෙපා" සින්දුවෙයි තරමක සමාන කමක් පේන්නත් තියනව.

ප්‍රියා සුර්යසේන කියන්නෙ හැත්තෑව දශකය සමයේ පෙම්වතුන්ගේ වැලපීම්,දුක්ඛ දොමන්ස්සයන් වගේම ප්‍රේමය බෙදාහල ගායකයා.මේ සින්දුව ශ්‍රවනය කරනකොට දැනෙන දෙයක් තමයි මොහු මොන තරම් අපූරුවට තමන්ගෙ හඬ පාලනය කරල තියනවද කියල.

                         

2 comments:

  1. lassanaai...............

    ReplyDelete
  2. ස්වභාව ධර්මයේ තවත් සංසිද්ධියක් වුනත් එහි පැවැත්ම සඳහාම හේතු වෙනව නේද? බොහොම සෞන්දර්යාත්මකවත් ගීතවත් වත් ඉදිරිපත් කරල තියෙනව. රස විඳින්න වගේම හිතන්නත් යමක් දීල තියෙනව

    ReplyDelete