Sunday, February 9, 2014

පිපුණු මලේ රුව............

         

හරුප පැහැය : ලූෂන් බුලත්සිංහල
නාද පැහැය   : පී. ඩන්ස්ටන් ද සිල්වා
හඬ පැහැය    :  නන්දා  මාලනී
 
පිපුණු මලේ රුව එ මල දනීදෝ 
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී 
කඩුල්ල පැන එයි නුඹ අත-කර ලන දා
කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ  
ළිඳේ අඩිය හිරු නොබල පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ 
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ  

මේ සින්දුව පුරාවටම එකම දෙයක් ගැන කියන්න උත්සාහ කරල තියනව.ඒ තමයි විදුරු කැඩපත.හැබැයි අපි කවුරුත් දන්න මුණ බලන කැඩපත ගැන නෙමෙයි මේ කියන්නෙ කියල හොඳින් බැලුවොත් පෙනේවි.

දිළිඳු කම වගේම ඒ නිසා මිනිස්සු මුණ දෙන ප්‍රශ්ණ ගැන බොහොම මානුෂිකව, තමන්ගෙ නිර්මාණ වලින් අපූරුවට කතා කරන කෙනෙක් තමයි ලූෂන් බුලත්සිංහල මහත්තය.හැබැයි උන්නැහැ කතා කරන කොයි ගැටළුව ගැන උනත්  ඒවට විසඳුම් ඉදිරිපත්  කරන්න යන්නෙ නැහැ.ඒවට උත්තර රසවිඳින අයට බාර කරනව.

බඩගින්න හැදුනහම ඒක නිවාගන්න මිනිස්සු නොකරන දෙයක් නැහැ.තමන්ගෙ සරීරය පවා විකුණන්න පෙලඹෙනව.ඒක සමහරුන්ට පේන්නෙ සමාජ විරෝධී එහෙම නැත්නම් සදාචාර විරෝධී වැඩක් විදියට වෙන්න පුළුවන්.ඒ වුනාට ලස්සනට ඇඳල කරල ඉන්න තියන ආසාව හැමෝටම එකවගේ තියනව.ඒ වගේ හැඟිම් වලට පංති බේදයක් නැහැ.

මේ සින්දුව පුරාවටම කියන්නෙත් අම්ම කෙනෙක් තමන්ගෙ දෝණියැන්දගෙ බඩ කට පුරවල, මාල වලලු අරන් දීල ලස්සනට තියන්නට තමන්ගෙ සරීරය පිරිමින්ට වික්ක තතාව.වීදුරු කැඩපත කියන්නෙ කෙනෙකුට තමන්ගෙ රූපය බලාගන්න තියන තැන.ඊට අමතරව කාන්තාවකටනං  තමන්ගෙ පතිවෘතාව වගේ. කැඩුනොත් එකතුකරනව බොරු.මේ අම්ම ඒක කැමැත්තෙන්ම බිඳගෙන.

යුවතියක් විවාහ වෙනකොට.මුතු මාල හත්පොටක් දානව.ඒක එයාගෙ හිසට බරක් නෙමේ.ඒකෙන් පෙන්වන්නෙ තමන්ගෙ වත් පොහොසත්කම.මේ අම්ම කියනව දුවේ උඹව කැන්දගෙන යන්න අහගෙන එන අයට පෙන්නන්න මම ලඟ මුකුත් නැහැ.ඒ එන අයත් එක්කම ඇවිල්ල මාල වෙනුවට උඹේ කර වටකරන්නෙ දුප්පත්කම.අඩුම ගානෙ මුණ බලාගන්න කණ්නාඩියක් වත් නැති මේ ගෙදර උඹගෙ අඩු පුරවන්නයි මම මේක කලේ කියල.ඒකයි පාළු කණට නුඹෙ ඇස නොගැටෙන්නයි නොකියා පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි කිව්වෙ.

හැබැයි මේ අම්මට දැන් වෙන ප්‍රශ්ණයක් මතුවෙලා.අම්ම කරපු දේම දැන් දුවත් කරනවා.රෑ පහන් එළියෙන් බිත්තියට වැටුනු හේමලය බලාගෙන හිස පීරනවා.ඒ නින්දට ගන්න නෙවෙයි. එලියට යන්න.ඔය කරන වැඩේ කරන්න එපා කියල කියන්න මේ අම්මට හයියක් නැහැ.

ඒ විතරක් නෙමේ උදේ පාන්දරම ගෙට ගොඩවෙන මේ දුව ඇහැ පියාගන්නෙ නැතුව ඉන්නව යන්තමට වැටෙන ඉර එළියෙන් ලිඳට එබිල මූණ බලාගන්ට.ඒ මොහොකටවත් නෙමේ රාත්‍රිය පුරාවට පිරිමින්ගෙ රැවටිලි එක්ක තැළුණු මුණ බලාගන්න.

මේ අම්මගෙ අඳෝනාව අපේ හිත පතුලටම වදින්න ඩන්ස්ටන් ද සිල්වා මහත්තය නාද සිත්තම තරල තියනව.නන්දා මාලනී නෝනගෙ ගායවනය ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. 
               
                        

No comments:

Post a Comment