Wednesday, March 26, 2014

රුක් අත්තන මල මුදුනේ..........

මහින්ද අල්ගම


හරුප පැහැය : මහින්ද අල්ගම
නාද පැහැය   : නන්දා මාලනී
හඬ පැහැය    : නන්දා මාලනී


රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ.............

මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා..................
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ..................

පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ.........................
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ.............

"කොච්චර අගහිඟකම් තිබුනත්  අපුගෙයි දුර්ගාගෙයි අම්ම තමන්ගෙ ස්වාමියට බොහොම ලෙන්ගතුයි, ආදරෙයි. ගෙදර තියන අගහිඟකම් අහුලන්න බැරි නිසාම, අකමැත්තෙන් උනත් තමුන්ගේ මේ ආරක්ෂකයා  මුදල් හොයන්න නගරයට යන්න තීරනය කරනව. පිටත්වෙන වේලාවෙ ඔහු නොපෙනී යනකන්ම මේ බිරිඳ වැඳගෙන ඉන්නවා. මුලින්ම ලැබුන ලියුමට පස්සෙ කාලයක් යනකම් නගරයෙන් ලියුමක් නැහැ.උදේ දවල් රෑ හැම වෙලාවෙම, ආදරණීය  ඔහු ගෙ පැමිණිම හිත ඉල්ලනව.
එක රාත්‍රියක ඈතින් යන දුම්රියේ හඬ ඇහෙන ඇයගෙ හිත ගැස්සෙනව.දුම්රියෙන් නගරයට ගිය ස්වාමියාව සිහිපත් වෙනව.ස්වාමියව තමන්ගෙන් ඈතට ගෙන ගිය දුම්රිය ගැන තරහකුත් එනව.කරමින් හිටිය වැඩය නවත්තල අපුව ආදරයෙන් සිඹිනව"
මේ මම කිව්වෙ සත්‍යජිත් රායි කියන මහා සිනමාකරුවගෙ පාතර් පංචාලි රිදී සිත්තමේ එන රූප රාමු කීපයක්.
සිප වැලඳගැනීමක් නැතුව විතරක් නෙමේ ඔවුනොවුන් නොපෙනෙන ඇතක ඉඳල වුනත් ආදරය,ප්‍රේමය වගේ දේවල් හිතට වදින්න පෙන්වන්න පුළුවන් කියල රායි තමන්ගෙ සිනමා සිත්තමෙන් ඔප්පුකරල තියනව.
විචාරකයො කියන විදියට ආදරය ගැන උපරිමයෙන්ම පෙන්වන, රිදී සිත්තමක අදටත් තියන හොදම රූප පෙල තමයි ඒ.ඔය සිනමා සිත්තමේ තවත් විශේෂත්වයක් තමයි, පොඩි දරුවගෙ ඉඳල මහා පණ්ඩිතයා දක්වා තම තම නැණ පමණින් රස කරන්න පුළුවන් වීම.
රායි ට ඉටුවුන ඒ සාධාරනය අපේ මහින්ද අල්ගම මහත්තයට ලැබුනෙ නැත්තෙ ඇයි කියල පුදුම හිතෙනව.
රුක් අත්තන මල මුදුනේ සින්දුව සිනමා සිත්තමක් වගේ අපූරු රූප පෙලක් අපේ හිතේ මවනවා. මේ සින්දුව ගැන අපේ විචාරකයින්ගෙ කියවීම මදි කියලත් මට දැනෙනව.
පොඩි දරුවන්ට මේක  පිය සෙනෙහස ගැන කියාදෙන සින්දුවක් උනාට වැඩිහිටියන්ට මේක වෙනත් ආරක සින්දුවක් වෙනවා.
හවසට පාර දිහා බලාගෙන, දරුවත් උකුලෙ රඳවගෙන, මේ අම්ම වචනවලට පෙරලන්නෙ දරුවගේ උවමනාව නෙමේ කියල හොඳින් පද කියෙව්වොත් වැටහේවි.
මේ බිරිඳගේ, සතුටින් පොපියමින් නටන හිත අපුරුවට පද වලින් සිත්තමක් වගේ මවල තියනව.ඒකට හරියන්නම සංගීතයත් අපුරුවට සපයල තියනව.
රුක් අත්තන මලේ සුවද විහිදෙන්නෙ හවසට.ඈතක ගිහින් හිටිය බඹරු ඔන්න දැන් මල වටා රඟ දෙනවා.මේ රුක්අත්තන මල තමන් නම්, අර ඈතින්  ඔහු එන්නෙ මලේ සුවඳ හොයාගෙන නේද කියල ඇයට හිතෙනව.
පලවෙනි අන්තරා කොටසින් අපූරු සැඟවුන කතාවක් කියනව.
මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ කියල මෙයා වර්ණනා කරන්නෙ බොහොම ප්‍රබෝධමත් උදෑසනක් ගැන.මේ උදෑසන මෙහෙම ප්‍රබෝධයෙන් තියෙන්නෙ කලින් රාත්‍රිය සතුටින් ගෙවුන හින්ද.ඒ සතුට තමන්ට විතරක් නෙමේ ඔහුටත් ඒ වගේම දැනෙනව.ඒක නිසා තමයි නින්දෙ ඉන්න දරුව ඇහැරවන්නෙ නැතුවම මොනවද මුමුනල හාදුවක් දිල පිටවෙන්නෙ.
පතොක් කියන්නෙ වතුර ගොඩක් රඳවගත්ත ශුෂ්ක තැන්වල උනත් හැදෙන රළු ශාකයක්.මේ පවුලෙ අග හිඟකම් තමයි ඒ පද වලින් කියල තියෙන්නෙ.හැබැයි දවස අවසානයෙ ස්වාමියගෙ දර්ශනය මේ ඔක්කොම දේවල් අමතක කරනව.හරියට සිසිල ගෙනෙන හඳ වගේ.
ආදරය,සෙනෙහස කියල කියන්නෙ නැතිබැරිකම් එක්ක සමාන්තර ගමනකට එකතු නොවන දෙයක් බව අල්ගම මහත්තය කියල තියනව.
අපේ රටේ  සදාකාලික  නිර්මාණ අතලොස්ස අතරෙ මේ සින්දුවත් හැමදාම තියේවි.
                     

1 comment:

  1. සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුන නිවස සොයා එමි..........ගීතයෙන් මේ ගීතයටම බද්ධ වු ස්වාමියාගේ හැගීම් විස්තර වෙනව. මේ ගීත දෙකෙන්ම උනුසුම රැදුනු කැදැල්ලක සොදුරු බව විඳින්න ඉඩ ලැබෙනව කැදල්ලක් නම් මෙසේම විය යුතුමය.

    ReplyDelete