Friday, June 13, 2014

පොඩි මිතුරෝ........




හරුප පැහැය :     මහාචාර්ය සුනිල් ආරියරත්න
නාද පැහැය   : සුනිල් දයානන්ද කෝනාර
හඬ පැහැය    :  නන්දා මාලනී

වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

රැඳෙන්නට හැකිනම් ළමාකැල
හඬන දෙතොලග සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙලාගත හැකි වන මලක් වී

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑවෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

                       

     ඇය වෘත්තියෙන් නිතීඥවරිකි.වසර දහයකට පමණ පෙර ගොඩනැගීම  ආරම්භකල කපරාරු නොකල නිවසේ බිම් මහලේ දරු දෙදෙනා සමග ජීවත් වන්නීය.විවාහ වූයේ දිගු පෙමකින් පසුවය. රැකියා කීපයකින් හෙම්බත් වු ඔහු මිල්ලෙ සොයා ගියේය. තමාගේ යැපීමට ප්‍රමාණවත් වූ රැකියාවකින්  ඉතාලියට ශ්‍රමය විකුණන ඔහු ගැන ඇය සුසුම් ලන්නීය.තමා වෙත එන සේවාදායකයින්ගේ සිත් නොරිදා, සිවිල් ගැටලු විසඳීමට පමණක්  බාරගන්නා ඇය, එයද  බාරගන්නේද දිගු විමසීමකින් පසුවය.තම වෘත්තියේ ගරුත්වය මෙන්ම තමාගේ ගෞරවය ගැනද ඇය සිතයි. පුද්ගලික වාහනයක් හෝ සන්තකයේ නොමැති, නිවාස ණය,දරුවන්ගේ කටයුතු මෙන්ම වෙනත් සමාජීය කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් මුදලක් උපයන ඇය ගැන කිව හැක්කේ ඉතා සතුටින් සිටින බව පමණි.ඇය ලෝකයාට ආදරේය.හැකි සෑම විටම අනුන් වෙනුවෙන්ය.ඒ සඳහා කිසිවක් නොයිල්ලයි. අඩුම තරමේ ස්තුතියක්වත් බලාපොරොත්තු නොවේ.
හරුප පැහැය : අජන්තා රණසිංහ     
නාද පැහැය   : ස්ටැන්ලි පීරිස්
හඬ පැහැය    :  මිල්ටන් මල්ලවාරච්චි


වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ
කවදා හෝ වියපත් වු දා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා

මමත් පියෙකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නලවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා

පියෙක් ඉඳී පුත නුඹටත් කොතැනක හෝ
දිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා

    මේ ඊලඟ කතාවයි.ඔහු වෘත්තියෙන් විශේෂඥ වෙදැදුරෙකි.යතුරුපැදි කට්ටෙන් රථ කට්ටකට මාරු වූයේ මේ මෑතකදීය.ආදායම රජයේ රෝහලේ සේවයෙන් ලැබෙන වැටුප පමණි.චැනල් සේවයේ තියා පුද්ගලික ඩිස්පැන්සරියක් හෝ නොමැත.ඔහුගේම වදනින් කියනවා නම් ගහෙන් කඩන්නට ප්‍රිය නැත.රෝගීන්ට ආදරේය.සැමෝටම ආදරේය.ඔහු සතුටින්ය.සැබැවින්ම සතුටින්ය. කිසිවක් කිසිවකුගෙන් නොඉල්ලයි. අඩුම තරමේ පින් වත් බලාපොරොත්තු නොවේ.


පින් යනු තමා සිත පිනවීම බව ස්වාමින් වහන්සේ නමක් දේසනා කරනු මා අසා ඇත්තෙමි.ඒ, අන් අයට යහපත සිදුකිරිමෙනි.නමුත් බුදුරජුන් දෙසු පින යන්න කීයෙන් කීදෙනෙක් නිවැරදිව කියවාගෙන ඇත්ද යන්න සැක සහිතය.බොහෝ දෙනෙකුට පින් රැස් කිරීම යනු බැංකුවේ මුදල් තැන්පත් කිරීම නැතහොත් මුදල් පොලියට දීම වැනි අනාගත ප්‍රතිලාභ අපේක්ෂා කරන ආයෝජනයකි.එය සක්‍ර දෙවිඳුගේ අන්තංපුරයේ අඟනක් ලෙස පත්විමක් ලැබීම දක්වා දුර ගමනක් විය හැක.මේ නිසාම වඩා සුරක්ෂිත හා ලාභදායි පුන්‍ය මාර්ග වල ආයෝජනය සඳහා බොහෝ අය පෙලඹි ඇත. සමහර බුද්ධ පුත්‍රයින් ද පුන්‍යානුමෝදනාවේදී, මේ සඳහා අවැසි පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂනය නොඅඩුව සපයන්නේ "පින්වතුන්ගේ" සාධුකාර මධ්‍යයේය. පුළුල් ප්‍රචාරද සමගින් සිදුකරන මෙවැනි පුන්‍ය කටයුතු නිසාම දනන් තුඩ තුඩ රැව් දෙන සුපින්වතුන් සැමතැනකම දැකිය හැක.ඔවුන්ගේ සෑම පුන්‍යකර්මයක් වෙනුවෙන්ම බරතැබූ සිහින ඇත.සමහරවිට එහි ප්‍රතිඵල ඊලඟ ආත්මයේ විය හැක.
පින් රැස්කිරිම යනු මෙවැනි ආත්මාර්ථකාමී  මෙහෙයුමක් විය හැකිද?


හරුප පැහැය : මහාචාර්ය සුනිල් ආරියරත්න      
නාද පැහැය   :ආචාර්ය  රෝහණ වීරසිංහ
හඬ පැහැය    :  නන්දා මාලනී

නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකිනම්
හඬ නැති මුවගට කට හඬ දිය හැකිනම්
අහිමිවු දෙපයට පා යුග විය හැකිනම්
පොඩි මිතුරෝ මම නුඹ සිප ගන්නම්

කළුවර අහසේ සඳක් වෙලා - පැල එළිකල හැකිනම්
නියං සමේ මහ වැවක් වෙලා - වාන් දැමිය හැකි නම්
පොඩි මිතුරෝ මම නුඹ සිප ගන්නම්

මං පෙත මහ නුග තුරක් වෙලා - හෙවන සැදිය හැකිනම්
දාහය දුරලන පවන් සලා - සුළඟක් විය හැකිනම්
පොඩි මිතුරෝ මම නුඹ සිප ගන්නම්

                   


මම මේ ඔක්කොම කිව්වේ මේ සින්දු තුන ගැන කියන්ටය.නන්දා මාලනි නෝනා මෙන්ම මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගයන්නේද සිත පිනවිමක් ගැනය.අනෙකාට ප්‍රේම කිරීම ගැනය.මිනිස්කම ගැනය.ආදරය කරුණාව දයාව ගැනය.ඉහතින් කියන්ට පෙලඹුනේ මා දන්නා එවැනි සත්පුරුෂයින් දෙදෙනෙක් ගැනය.මෙවැන්නන් විරලම නැත.ඔවුන් ඒ සඳහා කිසිවක් නොඉල්ලයි.ප්‍රචාරයක්ද නැත. ඒනිසාම කිසිවෙක් ඔවුන් ගැන කතා නොකරයි. ඒ නිසා අප ඔවුන් ගැන නොදනියි.
  මේ සින්දුවල තියන ආකාරයට මෙවැනි සිතුවිලි උපදින්නේ මනුසත්කම ඉහවහා ගිය  මිනිසුන්ටය.වරෙක බතක් නොඉදෙන පැලක බතක් වන්නට පතන අතර තවක් වරෙක දෙනෙත් තුල සුබ සිහිනයක් වන්නට පෙරුම් පුරයි.හැබැයි නන්දා මාලනී නෝනාගේ ඒ පැතුම මහා විසාලය.ඒ අතින් බලනකොට මිල්ටන් මහත්තයා පරාසය සීමා කරගෙන ඇත.ඔහුට ඕනෑ පියෙක් නැති දරුවෙකුට පියෙක් වී සෙනෙහස පුදන්නට පමණි. මහා අන්ධකාරය තුල එක් පහනක් හෝ දැල්වීම යහපත් යැයි ඔහුට සිතෙන්නට ඇත.නන්දා මාලනී නෝනාගේ ඊලඟ සින්දුව තරමක් වෙනස්ය.මෙය ගයන්නට ඇත්තේ කීප දෙනෙකුගේ විමුක්තිය වෙනුවෙන් අවි දරාගෙන සිටින විමුක්තිකාමියෙකුට විය හැක.පාට,වර්ග, ජාති නොසලකා මිනිස් වර්ගයා වෙනුවෙන් පෙනීසිටින දිනක මා ඔබ සිප ගන්නට සූදානම් බව ඇය පවසන්නීය.

කෙසේ වුවද වපසරිය අඩුවැඩි වූවාට මේ සින්දු තුනෙන්ම කියා ඇත්තේ දෝරෙ ගලනා මනුස්සකම ගැනය. 
 

3 comments:

  1. ඇත්තමයි.මේ කතාව නම් හිතට වදිනව.මම දන්න කෙනෙකුත් හිටියා.ගමේ කෙනෙකුගෙ ඕනෑම අමාරු වෙලාවක මෙයා ඉන්නවා. ඊට පස්සෙ මෙයා මාරු වෙනවා. වෙන අය ලකුණු දා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. සැබෑ යහපත් පුද්ගලයා ප්‍රදර්ශනය වන්නේ නැත..........

      Delete
  2. පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
    පින නම් නොපමාවම කර ගන්නේ..........

    ReplyDelete