Monday, January 26, 2015

ඔබ ඈත සඳ වී පායා......



හරුප පැහැය : ජයලත් මනෝරත්න
නාද පැහැය  : එච්.එම්.ජයවර්ධන

හඬ පැහැය : බණ්ඩාර අතාවුද


ඔබ ඈත සඳ වී පායා

මම මෑත තරුවක පිපිලා

මේ නිසල රැයේ

ලොව නිදනා

මා ඔබ, ඔබ මා ලඟ ඉන්නා



අප දුරින් දුරක වුව තනියේ

නෙත් සරින් පමණි හමු වූයේ

ඒ ඈත් බවිනි හද බඳුනේ

සෙනෙහසේ සොඳුරු බව පිරුනේ



මධු සඳ තරු අද හමුවීලා

සිටියද ඔබ මා ලංවිලා

ඒ දුරක එදා අප පිපිලා

තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා

අපේ හිතේ මොනව හරි දෙයක් ගැන ආදරයක් කැමැත්තක්  ඇතිවුනාම ඒක තමන්ටම ලබාගන්න පෙරුම් පුරනව. කොහොම හරි වෙහෙසිලා කවදා හරි ඒක තමන්ගෙම කරගන්නව කියන්නෙ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වුනා කියන එකයි. හැබැයි ඒක තමන්ටම හිමිකරගන්න ඉස්සෙල්ල, ඒ ගැන තිබුනු ආදරය සෙනෙහස ඒක ලබා ගත්තට පස්සෙත් ඒ විදියටම තියනවද කියන එක ගැන ගැටළුවක් තියනව.

ඒබ්‍රහම් මස්ලෝ කියන මනෝ විශ්ලේෂකයා කියන විදියට නම් මිනිස්සු හැටියට  අපි අපේ අවශ්‍යතා ඉටුකරගන්න පිළිවෙලක් තියනව.එක පියවරක් තෘප්තිමත් උනහම තමයි ඊලඟ එකට යන්නෙ.ආදරය, සෙනෙහස වැටෙන්නෙ ඉහල පන්තියේ අවශ්‍යතා ගොන්නට. ඒ විදියට බලපුවහම මාස්ලෝ කියන විදියට තමන්ට ආදරය කරන කෙනා තමන්ට ලැබුනා කියන්නෙ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වුනා කියන එකයි.ඊට පස්සෙ සොබාවයෙන්ම අපි කරන්නෙ ඊලඟ අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න යන එක.ඔන්න ඊලඟ ගොන්නෙ තියෙන්නෙ අන්‍යයන්ගේ පිළිගැනීම, අගය කිරීම, ගරුත්වය වගේ දේවල්.  නිරන්තරයෙන් වටේ ඉන්න අයගෙන් අපි ඒවා ඉල්ලා හිටිනව. 

හැබැයි අපි හිතන ආකාරෙටම ඒ අයගෙන් ඒව නොලැබුනොත්........ ?

මේ වගේම කාරණයක් ජයලත් මනෝරත්න මහත්තයත් කියනව.

අපි අපිට හිමිවෙන්න කලින් දුරක ඉඳන් සෙනෙහස දක්වනව.සෙනේ ගංඟාව පිරිල ඉතිරිලා යනව.
ගතින් මොන තරම් දුර වුනත් සිතින් ළඟ බව දැනෙනව. 

හරියට, දුරක ඉඳගෙන ඇස් වලින් හමුවන තරුවයි සඳයි වගේ.

කොහොමහරි දෙන්නගෙ සැලැස්ම සම්පූර්ණ වෙනව.දැන් එක වහලක් යට ඉන්නව.හැබැයි දෙන්නට දෙන්න ඉල්ලන අගය කිරීම, ගරුත්වය වගේ දෙවල් නොලැබී යනව. එකිනෙකාගෙ අඩුපාඩු පේන්න පටන් ගන්නව.එතකොට......................?

එදා දුරක ඉන්නකොට  ගලාගිය සෙනේ ගංඟාව දැන් හිඳිල බව තේරෙනව.

ගතින් මොනතරම් ලංවුනත් සිතින් දුරක වගේ දැනෙනව.

හරියට, එකම රැයක පායපු තරුවයි සඳයි වගේ.

සින්දු ගොඩක් නොලියපු මනෝරත්න මහත්තයගෙ මේ සින්දුවෙන් අපිට මිනිස් සොබාවය ගැන මනෝ විද්‍යාත්මක විවරනයක් කරනව.

වෙන කාටවත් කරන්න බැරි තරමට, පදවල අරුතට ගැලපෙන විදියට කළකිරුනු , ඉච්චාභංග ස්වරයෙන් බණඩාර අතාවුද මහත්තය ගායනා කරනව.
                               
                                   

3 comments:

  1. අනිචිචා වත සංකාරා...............

    ReplyDelete
  2. අනේ මන්දා...........

    ReplyDelete
  3. මොකද සද්දයක්වත් නැත්තේ ආයිබෝවංඩ???

    ReplyDelete