Tuesday, October 15, 2013

සොරදෙටුවා නුඹ.........



හරුප පැහැය : රත්මලේ බන්දුල ගුණවර්ධන     
නාද පැහැය   : මහින්ද බණ්ඩාර

හඬ පැහැය    :  ප්‍රදීපා ධර්මදාස
සොරදෙටුවා නුඹ - හිරිමල් යෞවනයේ

සුපිපුනු කුසුමක - සුවඳ සොරාගෙන

අතටම අහුවුන.....
මේ සින්දුවේ යටින් යන අරුතක් නං නැහැ.ඒ උනාට සින්දුවක් අහනකොට ඒක තමුන්ගෙම වෙලා අතීතෙට කැන්දගෙන යන සින්දු තියෙන්නෙ බොහොම සුවල්පයයි.මේ සින්දුව එහෙම එකක්. පපුව කොනේ හැංගිලා තියෙන අතීත කතා අවුස්සල, මුළු සරීරෙම හිරිවැටෙන්ට කොනිත්තල මිහිරියාවක් ගේන සින්දුවක් මේක.  
ගැටය කාලෙ, ගැටිස්සි කාලෙ අපි හැමෝගෙම කතාවක් මේකෙන් කියනව කියල මට හිතෙනව.
ගැටිස්සියො කොහොමටත් කැමති කොළු නඩේ ඉන්න කැපිල පේන ගැටයට තමා.ඒකා කණ්ඩායමේ නායකයනං තවත් හොඳයි. මේ සින්දුවෙ ඉන්න ගැටිස්සිගෙ ආදරේ හොරකං කරල  තියෙන්නෙ එහෙම ගැටයෙක් තමා.හැබැයි සහසුද්දෙන්ම මේ ගැටිස්සි කියනව හොරාගත්තෙ සුවඳ විතරයි කියල.
වැඩිහිටියො වෙලා කාලෙකට පස්සෙ මුණ ගැහුනහම මේ ඇත්ති පරණ කතාව බොහොම සුන්දර විදියට, චුට්ටක් විතර මේ මනුස්සයව හිත නොරිදෙන්න ලැජ්ජ කරන ගමං මතක් කරල දෙනව.සමහරවිට දැං තමුන්ගෙ සුවාමිය වෙලා ඉන්නෙත් මේ කියන ගැටයම වෙන්ටත් පුළුවං. එහෙම වෙලානං මේ දෙන්නගෙ බැඳීම මොන තරම් ප්‍රේමනීයද කියල සින්දුව අහනකොට දැනෙනව.
අම්මා මගෙ අත අල්ලං

පාරේ යනකොට

කුරුල්ලෙක් වගේ පියඹා අත්තෙන් අත්තට

මං බිමට දැමූ කව් ගී

ඩැහැගෙන පියඹනකොට

අම්මගෙ අතටම අහුවුන
සොරදෙටුවා නුඹ.....
දෝනියෙක් මල්වර වුනාට පස්සෙ අම්මල වෙනදටත් වැඩිය දරුවව පරිස්සං කරනව.ඒ මොකද අම්ම දන්නව පාරෙ ඉන්න ඉලන්දාරින්ගෙ ඇස් වෙනදට වඩා ඕනැ කමින් කෙල්ල දිහාවට හැරෙනව කියල.ඒ වගේම උන්දැ හොඳටම දන්නව, ගැටිස්සියන්ට ඔය කාලෙට ආකාසේ පියාඹන්ට තරං සැහැල්ලුවක් දැනෙනව කියල. ඒකයි කෝකටත් කියල පාරෙ යනකොට අතින් අල්ලගෙනම යන්නෙ.ඒ උනාට ඉතින් දෝනිගෙ හිත තද කරල අල්ලගන්නෙ කොහොමෙයි.
සැරෙන් සැරේ පාරවල් අස්සෙං ,ගෙවල් ,වතු අස්සෙං මතු වෙවී හොරෙන් හොරෙන් බැළුම් දාන ප්‍රේමවන්තයව පේන්නෙත් තමන් එක්ක ආකහේ පියාඹන්ට සැරසුන කුරුල්ලෙක් වගේ.
අම්මට මේ වෙනස තේරෙනව.හැබැ නොතේරුනා වගේ දෝණියැන්දගෙ අතින් අල්ලගෙනම යනව.
දැං කාලෙ ආදරේ හුවමාරු වෙන්නෙ අතේ තියන ටෙලිපෝං වලින් උනාට මීට ටික කාලෙකට ඉස්සර ඒක උනේ ලියුං කරදාසි වලින්. මුණ ගැහිල වචනෙං විස්තර කරන්ට බැරි එව්ව ඔක්කොම ඒකෙ ලියනව. ආදරේ තරම පෙන්නුවෙ හිතට ගලාව ආපු කවි සිතුවිලි වලින්.සමහරවිට ණයට ගත්තු සංකල්පනා වෙන්ටත් පුළුවං.කොහොම උනත් ඒ ප්‍රේමවන්තයො හැමෝම දන්නෙම නැතුව සෞන්දර්ය වාදියො වෙලා.  
අම්ම කොච්චර පරිස්සං කලත් උන්දැට හොරෙන් තමන් ලියපු සෙනෙහෙ කොලයක් බිම අතාරින්න මේ ගැටිස්සි පරිස්සං වෙනව.හැබැයි අත්දැකීම් අඩු මේ දෙන්නගෙ හොරේ අම්මගෙ අතටම අහුවෙනව.
ඊට පස්සෙ සිද්දවෙච්චි ඇඬිලි දෙඩිලි ගැන සින්දුවෙ සඳහන් නොකරන්න බන්දුල ගුණවර්ධන මහත්තය ප්‍රවේසං වෙනව.මොකද එව්වත් ලිව්වනං මේක ගොරෝසු සින්දුවක් වෙනව.
දැන් අම්ම ඉස්සරටත් වඩා කෙල්ල ගැන ඇහැ ගහං ඉන්නෙ . මග තොට යනකොට සද්දයක් ඇහුනත් බලනව ඒ සද්ද කලේ තටු තියන කුරුල්ලෙක්ද නැත්නං තටු මවාගත්තු කුරුල්ලෙක්ද කියල. ඒ හැම තැනකදිම අන්තිමේදි අම්ම දිනනව.
මෙව්ව මේ විදියට අහු වෙන්ට එක හේතුවක් තියනව.අම්මත් එක්ක ගියත් මේ දෙන්නගෙ බොලඳ කමට හිතෙන්නෙ තමං ඉන්නෙ තනියෙං කියල. ඒකයි ඊළඟ හරුප පේළියෙ මෙහෙම කියන්නෙ.  
ගුරු පාරෙ මං යනකොට........
දෙන්නටම ඒව ඔක්කොම දැං සුන්දර මතක සටහං වෙලා.
කුටියේ කවුළුව ලඟ හිඳ

ගෙල දිගු කර කර

ගුරු පාරෙ මං යනකොට ආ උරුවම් හඬ

දුනු හී ගෙන සැඟව විදින්නට සැරසෙන කොට

අම්මගෙ අතටම අහුවුන
සොරදෙටුවා නුඹ.........
මේ සින්දුවට සම්බන්ද උන තුන්දෙනාම තුන්දෙනා ගැන අපූරු අවබෝදෙකිං තමන්ගෙ කොටහ සම්පූර්ණ කරල තියනව. ඒ ගැන හිතන්ට  හොඳම  තැන තමයි මෙන්න මේ හරුප පේළිය.........
අම්මගෙ අතටම අහුවුන........

 
සින්දුව ආයිමත් අහන්න........

4 comments:

  1. ඇත්තමයි නියම සින්දුව.....

    ReplyDelete
  2. මෙවන් ගි ගුවන් විදුලියෙන් රූපවාහිණියෙන් නොඇසෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි.ඇමති ස්වාමි පුරුෂයට බැරිද මේ වගේ හොඳ දේවල් වලටවත් බලය පාවිච්චි කරන්න

      Delete
  3. හොද සිංදුවක්..........

    ReplyDelete