Sunday, November 3, 2013

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ........



හරුප පැහැය : කපිල කුමාර කාලිංග
නාද පැහැය   : එඩ්වඩ් ජයකොඩි
හඬ පැහැය    : එඩ්වඩ් ජයකොඩි


වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා ‍හෝරාවේ.........

වැඩිමනක් පෙම්වතුන්ගෙ අවසාන බලාපොරොත්තුව දෙන්න එක වහලක් යට පවුල් කන එක තමා.හැබැයි ඉතින් තමන් හිතන විදියටම වැ‍ඩේ සිද්ද වෙන්නෙ කීයෙන් කීදෙනාගෙද .
මේ ප්‍රේමවන්ත ‍‍ජෝඩුවත් එහෙම දෙන්නෙක් තමා.
ජෝඩුවට තමන්ගෙ ප්‍රේමය ජයගන්ට පුළුවං වෙලා නෑ.එහෙම උනානං මෙලහකටත් එක වහලක් යටට ඇවිල්ල.
දැං මේ ජෝඩුව තමන්ගෙ ජීවිතේ තරුණ කාලෙ පහු කරලත් ඉවරයි. ඒකයි වසන්තයේ අග  කියල කිව්වෙ. හැබැයි තවමත් දෙන්න ලෙන්ගතුයි.ඉස්සර වගේම සෙනෙහසයි.මෙයාලට බොහොම බාදක ඒ කාලෙ තියෙන්ට ඇති. එකතුවෙන්ට බැරි වෙන්ට ඇත්තෙ ඒ හින්ද වෙන්ට ඇති, දැං වත් මල් අතුරපු පාරක යමු කියල පෙම්වතීට ආරාදනය කරන්නෙ . ඒ වගේම පෙම්වතා කියනව, ඉස්සර කියන්ට මගහැරිච්චි ඔක්කොම කතා ඒ පාරෙදි කියමු කියල.
හැබයි අන්තිමට කියනව, දෙන්නට එක වහලක් යටට එකතු වෙන්ට බැරි වුන කතාන්තරේ මතක් කරල  ඒක මහ ගලක් වගේ හිතේ තියාන වෙනද  වගේම වෙන් වෙමු කියල.
 එකයි අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු  කියල කිව්වෙ.

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැල සෙන්නේ ‍
නොදනිමු එය අප - නොවී පමා
පියවර මැන යමු - යොදුන් ගෙවා
මේ ප්‍රේමවන්තයො දැනටමත් වෙන කාව හරි විවාහ කරගෙන ඉවරයි. හැබැයි ඒ ජීවිතේ දෙන්නටම කටුකයි. විවේකයක් නෑ.තමන්ගෙ සුවාමියට, බිරිඳට හොරෙන් මේ මුණ ගැහෙන ඉස්පාසුව තමා මේ දෙන්න ජීවිතේ විඳින්නෙ.‍ඒකට ආයිමත් දවසක් ලැබෙයිද කියල සැකයි. ඒ හින්ද මුණ ගැහුණ මේ පොඩි වෙලාවෙ ඉස්පාසුවක් නැතුවම කතා කරමු කියල පෙම්වතා කියනව.

දොරගුළු හැරලමු අපි ‍දෙහදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින - නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් - අපේ ලොවේ
මෙතන තමා මේ කතාවෙ දුක දැනෙන තැන. ඒ මොකද මේ ‍පෙමවතා කියනව, එදා මගහැරුනු හැම දෙයක්ම අද ඉස්ට කර ගමු කියල. ඒකයි, 

දොරගුළු හැරලමු අපි ‍දෙහදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ  කියල කිව්වෙ.

එහෙම පෙම්වතුන් විදියට ජීවිතේ එක මොහොතක් හරි ලංවෙලා මුමුණන්න මේ දෙන්න පෙරුම් පුරනව. ඒ හීනෙ දකින්නෙ මෙහෙමයි.

කිසිවෙකු නොදකින - නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් - අපේ ලොවේ

වයස ගියත් වයස නොයන සදාතනික ආදරේ ගැන අපිට දුක හිතෙන විදියට, කපිල කුමාර කාලිංග උන්නැහැ මේකෙ හරුප, පෙල ගස්සල තියනව.
ජයකොඩි උන්නැහැ තමන්ගෙ නාද සිත්තමෙන් මේ කතාවෙ සතුටු පැත්ත කතා කරන ගමන් කතාවෙ දුක් පැත්ත, හඬ පැහැයෙන්අපූරුවට  පෙන්නල තියනව.
අපි හුඟ දෙනෙක්, අනේ එක වතාවක්  හරි සිද්ද වෙයි කියල  බලාපොරොත්තු වෙන කතාවක් මේක ඇතුලෙ තියනව කියල මට හිතෙනව

2 comments:

  1. ජීවිතය කර්කෂ වූ මොහොතක ඉන් මිදීමට හිත සෙවු සැනසුමේ ප්‍රාර්ථනාවක්ම පමණක්ම නේද?

    ReplyDelete