Wednesday, December 18, 2013

මා සඳට කැමති බව දැනගෙන.........



හරුප පැහැය : මහාචාර්ය සුනිල් ආරියරත්න      
නාද පැහැය   : ආචාර්ය රෝහණ වීරසිංහ
හඬ පැහැය    :  නන්දා මාලනී

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
නොයිඳුල් තොල්පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුලැලි ගෙනාව
එක්ටැම්ගෙයි සිරගතකර
සමනලියකි අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති - දුන් වේදනාව

ගහල බැන්දත් එකයි - බැඳල ගැහුවත් එකයි කියල අපේ ගම්වල කියමනක් තියනවනෙ.ඔය දෙකෙන්ම වෙන වේදනාව අඩු වැඩියක් නැහැ නොවැ.ප්‍රශ්ණෙ තියෙන්නෙ ගහන්නෙ මොකටද කියන එකටයි ගුටිකන්නෙ මොකටද කියන එකයිනෙ.නිවැරැද්දෙ ගහනවනං ඒකා පිස්සෙක්, නිවැරැද්දෙ ගුටි කනවනං..........?
මේ කතාව කසාදෙ කියන දේටත් ඒ විදියටම ඔබාගන්ට පුළුවන්ද කියල හිතන්ට වෙනව.ඒ මොකද යාළුවෙලා බැන්දත් එකයි, බැඳල යාළුඋනත් එකයි කියල සමහරු කියන හින්දයි මම එහෙම කිව්වෙ.කලින්ම යාළු වෙලා හිටියනං කලින්ම අඳුනගන්ට තිබුන.
එහෙම උනානං මේ කතාව මීට වඩා වෙනස් වෙන්ට තිබුන.
ඒ කියන්නෙ මේ සින්දුවෙ ඉන්න  කෙනා එහෙම කෙනෙක් නෙමේ. ඒ කියන්නෙ කලිං කා එක්කවත් ප්‍රේමසම්බන්දයක් පවත්වපු නැති කෙනෙක්.ඒකයි නොයිඳුල් තොල්පෙති අතරින් කියල කිව්වෙ.
මේ ස්වාමි පුරුෂය නරුමයෙක්.සොබාව සෞන්දර්ය අඳුනන්නෙ නැති කෙනෙක්.තාලෙකට අප්පපුඩියක්වත් ගහගන්න බැරි කෙනෙක්.මේක මේ කාන්තාවට තේරෙන්නෙ බැන්දට පස්සෙ.ඒයාගෙ වචනෙන්ම කියනවනං හදවතක් නැති මිනිහෙක්.
මෙයාගෙන් පලිගන්නෙ මහ සියුම් විදියට.කසාදෙට කලින් බොහොම සැහැල්ලුවෙන් හිටිය කෙනෙක්. ඒකයි උදුරාගෙනසිනාව කියල කිව්වෙ.තමන් ආසාවෙන් කරපු හැමදේටම තහංචි වැටිල.සින්දුවක් අහපු එක,කවියක් ලියපු එක,චිත්‍රයක් ඇන්ද එක,මලක් වවපු එක, හුරතලේට සතෙක් හදපු එක මේව ඔක්කොටම මෙයාගෙ ජීවිතෙන් අයින් කරල. මුල් පද හතරෙන් කියන්නෙ ඒ කතාව. මෙහෙම කරන්නෙ තමන් ගැන විස්වාසයක් නැති අය.මේ ස්වාමිපුරුෂයත් එහෙම කෙනෙක්.
සමහර දෙමව්පියො ගෑණු දරුවන්ව ඕවැවට වඩා තහංචි දලා හදනව.ඒ "වඩා යහපත්" කසාදයක් කරදීමේ උවමනාවෙන්.එහෙම යුවතියො ඉක්මනට කසාද වෙන්ට බලාන ඉන්නව.මොකද, ගෙදරදි නොලැබුනු හැමදේම තමන්ගෙ සුවාමියත් එක්ක කතාබහ කරල රිසිසේ විඳගන්ට පුළුවන් වෙයි කියල.එතනිනුත් ඒව නොලැබුනොත්...?
හැබැයි මේ ඔක්කොම පුපුරල යන දවසක් එනව.ඒකයි අන්තිමට කියන්නෙ
ඇති - දුන් වේදනා කියල.
නන්දා මලනී නෝනට අපූරු හැකියාවක් තියනව.ඒ තමයි සින්දුවක පදවල හැඩේට කට හඩේ හැඩේ පාලනය කරන එක.ඒකට අපුරු ,අළුත් ,සම්ප්‍රදායෙන් බැහැර නාද පැහැයක් රෝහණ විරසිංහ මහත්තය එකතු කරල තියනව.

1 comment: