Monday, March 10, 2014

"ළමයා" කතා කරයි





මට වයස අවුරුදු 18 ට අඩුය.
ඒ නිසා මම ළමයෙක්මි.
මට දෙමව්පිය හා වැඩිහිටියන්ගේ ආරක්ෂාව ලැබිය යුතු බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
මා ආරක්ෂා විය යුත්තේ ඔවුන්ගෙන්ම බව ඔවුන්ට කීමට මා බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
වැඩිහිටියන් මෙන් මා හට තනිව තීරන ගත නොහැකි බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
මව හා පියා යන දෙදෙනාම එකතුවී වාද කිරීම හැර කිසිදු තිරනයක් හරියට ගත නොහැකිබව ඔවුන්ට කීමට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
මම සැමවිටම ඔවුන් හට කීකරු විය යුතු බව පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
අම්මා- තාත්තාටත්,  තාත්තා -ආච්චිටත් කීකරු නැත්තේ ඇයි කියා අහන්න මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
මා නිතරම හොඳ වචන පමණක් කතා කල යුතුයයි ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
මාගෙන් වරදක් වූ විට ඔවුන්ගෙන් අහන වචන මමත් කිව්වාට කමක් නැතිදැයි අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
අධ්‍යාපනය ලැබීමට මට අයිතියක් ඇතිබව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
අධ්‍යාපනය ලැබීම යනු පාර්ලිමේන්තුවේදී නරක වචන වලින් බැනගන්නා එකද යන්න අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
ලිංගික ක්‍රියා යනු, දැන්ම දැනගැනීමට හදිසි නොවිය යුතු දෙයක් බවත් වැඩිහිටියන් වූ පසු දැනගත හැකි වන දෙයක් බැවින් වෙනත් ප්‍රශ්ණ අසන ලෙසත් ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
අතවරයක් හෝ ලිංගික අපයෝජනයක් සිදුවූ විට වහාම ඔවුන්ව දැනුවත්කල යුතු නම්, නොදන්නා දෙයක් ගැන කියන්නේ කොහොමදැයි අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
දිනපතා මා පන්සිල් රැකිය යුතු බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
කාමය වරදවා හැසිරීම මට අදාල දෙයක් නොවන බව ඔවුන්ට කීමට මා බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
පාසැල් යන කාලයේ පෙම් සබඳතා ඇති කර නොගත යුතු බව ඔවුන් තදින්ම පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
ගොළු හදවත,ගැහැණු ළමයි,ළසඳා ගැන තවමත් ආසාවෙන් මතක් කරන්නේ ඇයිද කියා අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
වයසට ගැලපෙන ළමා වැඩසටන් පමණක් බව නැරඹිය යුතු බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
ළමා වැඩසටහන් අතරතුර වැඩිහිටි වැඩසටහන් වල දැන්වීම්  ප්‍රචාරය වන්නේ ඇයිද කියා අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
සැමවිටම ළමා නිර්මාණ රස විඳිය යුතු බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
"පුන්සඳ රෑට ඇවිදින්" ගීය මා ගායනා කල විට ඉහලම කෙටි පණිවිඩ ප්‍රතිචාර ලැබුනේ ඇයිද කියා අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
මත්පැන් පානය නොකල යුතු බවත්, එය හය හතර නොදත් දරුවාට කියා දිය යුතු බවත් රූපවාහිනී දර්ශන අතරතුර පවසයි .
ඒ මම ළමයෙක් නිසාවෙනි.
කිසිදිනක, මත් පැන් විකිණීමත් නොකල යුතු බවත්, එය හය හතර නොදත් දරුවාට කියා දෙන්න යයි කියා නොකියන්නේ ඇයිද කියා අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
සමහර දර්ශන අවසන් වන තෙක්  කොටු දමා ආවරනය කරන්නේ එවා අනවශ්‍ය දර්ශන නිසා බව පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
ඒවායේ  ඇත්තේ ලිංගික දර්ශන  නේද කියා අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
සැමවිටම නිවැරදි තීරන ගැනීමට පුරුදු විය යුතු යයි ඔවුන් මට පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
"මගෙ බල්ලවත් ආයිනම් උන්ට ඡන්දය දෙයි" කියමින් ගෙදර කෑගහන්නේ ඇයිද කියා අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
පාසැල් මාතාවට ගරු කල යුතු බවත්, ඇයට අඩම් තේට්ටම් කරන්නන් මැරයින් බවත් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
පෙලපාලි යමින්, මග හරස් කරමින් ,පොදු දේපල කඩා දමමින්, පොලීසිය එක්ක ගුටි ඇන ගනිමින් දඟලන වැඩිහිටියන් ලංකා මාතාවගේ පුත්‍රයන්ද කියා අහන්නයට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
දූෂනය,වංචාව,හොරකම කිසිදිනක නොකල යුතු බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
පාර්ලිමේන්තුවෙන් හිරගෙදරට කවුරුත්ම ගොස් නැත්තේ ඒ නිසාදැයි අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
සමාව දීම නම් වූ දේව ගතිය පුරුදු විය යුතු බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
ප්‍රශ්ණ පත්‍ර හොරෙන් පිට කල අයට හා ඇමතිතුමාට, ළමයින් වන අපේ සමාව ලැබුනු බව කියන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
මා සැමවිටම නීතිගරුක විය යුතු යයි ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
මා පාසැලට ඇතුල් කිරීමට ඔවුන් ලිපි ලේඛන සකස් කල ආකාරය අහන්නට මට බයය.
මා ළමයෙක් වූයේ ඒ නිසාවෙනි.
මා රටට වැඩදායී පුරවැසියකු විය යුතු බව ඔවුන් පවසයි.
ඒ මම ළමයෙක් නිසාවෙනි.
ඔවුන් වැරදි කරමින්,අපට ඒවා කරන්නට එපා යයි කියන්නේ මොන කෙංගෙඩියකටදැයි අහන්නට මට බයය.
ඒ මම ගුටිකන නිසාවෙනි.


4 comments:

  1. හොදයි............

    ReplyDelete
  2. මේ සියල්ල මෙසේම අත්දකිමින් අපද වැඩිහිටියන් වූවෙමු.තව දුරටත් අපේ දරුවන්ටද ළුය ළුසේම අත්විඳින්නට වන බව සක් සුදක්සේ පැහැදිලිව දකිමු. මේ රටාව සිනාවකින් බැහැර කිරීමට නොහැකි යළි යළිත් විමසිය යුත්තක්මය.

    ReplyDelete
  3. ඔබේ ප්‍රතිචාර වලට තුති........

    ReplyDelete