Thursday, July 24, 2014

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්.....




හරුප පැහැය : ප්‍රේමකීර්ති ද අල්විස්
නාද පැහැය   : වික්ටර් රත්නායක
හඬ පැහැය    : වික්ටර් රත්නායක


අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...




ඇත්තටම ආදරය කරන පෙම්වතුන්ගෙ ප්‍රේම මෙහෙයුමේ අවසාන ඉලක්කයඔහු හෝ ඇය  එක්කම විවාහ වෙන එක.හැබැයි මේ ඉලක්කය  හැමෝටම ජයගන්ට ලැබෙන්නෙ නැහැ.අවසානයේ සියළු දුක් කඳුළු ඉවසගෙන, වෙනත්  කාගේ හෝ හෙවනැල්ල වෙන්ට වෙනව.එහෙම නැත්නම් වෙනත් කවුරු හරි කෙනෙක් මෙයාගෙ හෙවනැල්ල වෙනව. ඊට පස්සෙ හැමදාම ඇස්වලින් කෙසේ වෙතත් හදවතින් කඳුළු වගුරන්ට වෙනව. 

එන්න එහෙම කතාවක් මේ සින්දුවෙත් කියනව.

ඔය කිව්ව විදියට උනා කියල අර අතීත සුන්දර ආදරය අසුරු සැනින්  මකාදමන්ට පුළුවන්ද. කොහෙමටත් බැහැ. වරින්වර රාත්‍රියේදී ඇයව සිහියට එනව.මේ මහා විශ්වයේ ගව් ගණන් දුර සැරිසරන්ට යන තරම් කාලයක්  නෙමේ,  වියතක දුරක් යන්ට තරං ගතවෙන කාලයක් ලබාගෙන  ඇයත් එක්ක අත්වැල් බැඳගෙන හිනා වෙවී යන්ට   පෙරුම් පුරනව.

හැබැයි මේක කිසිම දාක වෙන්නෙ නැහැ. අර ලෝක චාරිත්‍රයට තමන්ට ලැබුනු කවදාවත් ගැලවෙන්ට බැරි කසාද බැන්ද කෙනා හෙවනැල්ල වගේ ලඟින්ම ඉන්නව. එහෙම වුනා කියල  මේ හීනෙන් මිදෙන්ට  පුළුවන්ද.ඒ හින්ද ඔබේ හෙවනැල්ලෙන් කොහොම හරි මිදිල එන්ට.මමත් කොහොමහරි මගේ හෙවනැල්ලෙන් මිදිල එන්නම් කියනව.හැබැයි ඇවිල්ල අඬන්ට නම් එපා මේ ලැබුන මොහොතෙ හිනා වෙමු කියනව.

ඒ, ඊළඟ ආත්මයේ වෙන් නොවන්නම එකතුවෙන බලාපොරොත්තුවෙන්......................

මේ සින්දුවත්, එඩ්වඩ් ජයකොඩි මහත්තය ගයන "වසන්තයේ අග හමුවෙමු සොඳුරිය" සින්දුවත් බොහොම නෑකමක් දක්වනව.

පැතුම් ඉටු නොවුනු පෙම්වතකුගෙ විලාපය බොහොම සරල වදන් වලින් ප්‍රේමකීර්ති මහත්තය කියල තියනව.කාටත් හොරෙන් රහසින් වැලපෙන හදවතක වේදනාව සියුම්ව, සප්ත ස්වර වලට  වික්ටර් රත්නායක මහත්තය මුසු කරල  තියනව විතරක් නෙමේ ඒ හැඟිම ගායනයෙනුත් පෙන්නල තියනව. 

                               

3 comments:

  1. හිත රිදවන,ඒත් මිහිරෙන් පුරවන,ඒ මිහිර නැවත නැවත විදින්න ආරාධනා කරන සොඳුරු සුගම ගී කාව්‍යයක්.................

    ReplyDelete
  2. වේදනාවත් මිහිරක් කියන්නෙ ඒකයි

    ReplyDelete
  3. මම බොහොම ආසා සින්දුවක් - ස්තූතියි ඔබට - එකතු කරගන්නව මගෙ බ්ලොග් රෝලට

    ReplyDelete