Monday, November 11, 2013

මේ රන්තෙලඹුවෙන්........



හරුප පැහැය :වසන්ත බණ්ඩාර දුග්ගන්නාරාල
නාද පැහැය : සේනානයක වේරලියද්ද
හඬ පැහැය : සේනානයක වේරලියද්ද / කුමාරි මුණසිංහ

මහාවංසය ලියපු මහානාම හාමුදුරුවොයි ඊට පස්සෙ මේ දක්වාම ඉතිහාසය හොයන අයයි අතර දුටුගැමුණු,රත්නවල්ලි,ස්වර්ණමාලි,පැරකුම් රජ්ජුරුවන්ගෙ දුව වගේ අය ගැන පටලැවිලි තියනව නොවැ.දුටුගැමුණු රජ්ජුරුවො ගැන මහානාම හාමුදුරුවො කිව්ව කතා වලට වඩා නොකී කතා වැඩියි කියලයි ඔය හැමෝම කියන්නෙ. බුද්ධාගමට කරපු විසාල සේවය හින්දම රජතුමාගෙ නමට කැලලක් වෙයි කියල හිතෙන දේවල්  මහානාම හාමුදුරුවො සමහරවිට අමතක කරල දාන්ට ඇති.

අනිත් එක රජකම් කරනකොට තමන්ට එරෙහිවෙයි කියල හිතන අය ගැන දැඩි තීරණ ගන්ටත් වෙන්ට ඇති.එහෙම නැත්නං රට එක් සේසත් කරනවයි කියන එක කරගන්ටත් බැරි වෙනවනෙ. අනිත් එක දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ පුද්ගලික ජීවිතේ ගැන ඉතිහාසෙන් ලැබිල තියන තොරතුරු බොහොම අඩුයි.එහෙම තිබුනනං රජ්ජුරුන්ගෙ හැසිරීම ගැන අපට මීට වඩා තේරුම් ගන්ට පුළුවන් වෙන්ට තිබුනා.

දුග්ගන්නාරාල උන්නැහැ කියන්නෙ රත්නවල්ලිත්, ස්වර්ණමාලිත් දෙන්නම එක්කෙනෙක් කියලයි.විජය කුමාරය ගොඩබහින්නත් ඉස්සර ඉඳන්ම අපේ රටේ යක්ෂ, නාග වගේ ජන කණ්ඩායම් ජීවත් වුනා.රත්නවල්ලිත් එහෙම තෙලඹු ගහක් මුල් කරගෙන පැල පදියම් වෙලා හිටපු ජන කණ්ඩායමක නායිකාවක්.රජ්ජුරුවන්ට සෑයක් බඳින්ට ඕනැවුනා. හැබැයි ඒකට තෝරගෙන තියෙන්නෙ තෙලඹුව අවටමයි. එහෙම බලපුවහම දුටුගැමුණු කරන්නෙ ආක්‍රමනයක්.
දුටුගැමුණු රත්නවල්ලි දෙපා ලඟට ගිහිල්ල  මේ ගැන කතා බහ කරනව. මේ දෙබස තමයි සින්දුව පුරාම අපූරුවට කියන්නෙ.
වල්ලි - මේ රන්තෙලඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ

             මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

          රජ  - නුඹේ නමින් සෑය බඳිමි මා දිවුරන්නේ

                   මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ
රජතුමා එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිම දාන්ටයි යන්නෙ.මහසෑය හදන්ටත් ඕනැ,අර කණ්ඩායම විසුරුවන්ටත් ඕනැ.වෙන තැන් නැතුවාම නෙමෙයි.හැබැයි එතකොට එක වැඩක් මග හැරෙනව.මේ උපාය රත්නවල්ලිට තේරෙනව.
රජතුමා දේසපාලන උපායෙ සටකපටකම් වලින් ඉහලටම ආපු කෙනෙක්.ඒ හන්ද වල්ලිට කියනව සෑයට උඹේ නම දාන්නම් කියල.ඒ වගේම  මුලින්ම කරන්නෙ ආයාචනයක්.
ඒ හන්දයි ,මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ කිව්වෙ.
වල්ලි - සිත භීත කරයි මා අසරණ වේද රජුන්නේ
            මහ සෑය බඳින්නට වෙන තැන් නැද්ද සොයන්නේ

       එක පැත්තකින් මේකට කැමති උනොත් රැහේ උන්ගෙන් තමන් තනි වෙන බව උන්දැට දැනෙනව.අනික් අතට  රජ්ජුරුවො තමන් ලඟටම එන්ට ඇත්තෙ තමන්ට ගව්රවයක් තියන හින්දයි කියල හිතනව.එහෙම හිතල වල්ලි තමන්ගෙ හිත ටිකක් වැඩිපුර පුම්බගන්න ගමන්,
මහ සෑය බඳින්නට වෙන තැන් නැද්ද සොයන්නේ කියල රජ්ජුරුවන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනව. 

රජ්ජුරුවො ඒකට සැලෙන්නෙ නැතුව තව උපායක් දානව.ගැහැණුන්ගෙ දුර්වල තැන් රජ්ජුරුවො හොඳට දන්නව.ඒ හන්ද වල්ලිගෙ රූපෙ අපූරුවට වර්ණනා කරනව.ඒ එක්කම සුන්දර විදියට, කලින්ට වඩා ටිකක් සැරට අර ඉල්ලීම ආයිත්  කරනව.ඒ මෙහෙමයි,
රජ - මහ සෑය පුරා මල් දමකට නුඹ ගැලපෙන්නේ
        ඔය තෙලඹු ගසෙන් බැස වැඩපන් ස්වර්ණමාලියේ

      හැබැයි ඔය ඉල්ලීම අස්සෙ වල්ලි ගැන රජ්ජුරුවන්ගෙ හිතේ තිබුන දේවලුත් එලියට පැන්නයි කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ වල්ලි තමන්ගෙ මතයෙ දැඩිව ඉන්නව. ඒ එක්කම රජ්ජුරුවන්ට තේරෙනව තමන් කරගත්තෙ වස වැරැද්දක් බව.
ඔන්න ඒ හින්ද රජ්ජුරුවො තමන්ගෙ බලය පාවිච්චි කරනව.මේක එක්තරා විදියක තර්ජනයක්.සාමන්‍ය අපේ වචනෙං කියනවනං" උඹෙ ඔය කෙහෙම්මල් තෙලඹුව පැත්තකට දාල පලයං නැත්නං මං නොකිව්වයි කියන්ට එපා"  කියනව වගේ එකක්. එක අපූරුවට දුග්ගන්නාරාල උන්නැහැ පෙල ගස්සල තියෙන්නෙ මෙහෙමයි.
රජ - ඔය අගේ වඩන රන් තෙලඹුව නොසිත ලොබා
             නුබ මගේ අණසකට ඉහලින් යන්ට එපා
ඔන්න බළලා මල්ලෙන් එලියට පනිනව.වල්ලිගෙ සම්පූර්ණ බල බිඳෙනව.උන්දැට ඈත දුර පේන්න පටන් ගන්නව.තමන්ට, තමන්ගෙ සනුහරේ උන්ව නැතිවෙන්න යන වග දැනෙනව.ඒ විතරක් නෙමේ මේ බලහත්කාරකම හින්ද මුළු ගාඩි වංශයම අනතුරේ බව දැනෙනව.ඒ උනාට රජුන්ට එරෙහිව යන්ට උන්දැට හයියක් නෑ. ඒ හින්ද අකමැත්තෙන් කැමතිවෙනව.ඒ මෙහෙමයි,
වල්ලි - මට සහේ යන්ට වෙන කුලයක් නොමැත සුබා
            මගෙ ගාඩි වංශයට යන කල නම් අසුබා
වසන්ත බණ්ඩාර දුග්ගන්නාරාල උන්නැහැ වගේම සේනානයක වේරලියද්ද උන්නැහැටත් මේ කියපු කාරනේ අපි හැමෝටම වඩා තදින් දැනෙන්ට ඇත්තෙ උන්නැහැලත් නුවර කලාවිය උපන් හන්දම වෙන්ට ඇති. ඒකයි මේ තරමටම මෙයාලගේ එකතුව සාර්තක වෙලා තියෙන්නෙ.

4 comments:

  1. නිවට නායකත්වයන් හැමදාම සටන් පාවා දෙනවා,
    වටේ ඉන්න එවුන් රජ්ජුරුවන්ට සුදු හුණු ගානවා

    ReplyDelete
  2. ඒ කාලෙ රටේ ජනයාගෙ මතය ඉස්සරහට දාල තමයි රජ්ජුරුවො මේක කරන්න ඇත්තෙ.එහෙම උනහම වල්ලිට විරුද්ධ වෙන්න බැහැ.සටන් කලානම් වෙන්නෙ මුළු සනුහරේම අතුගෑවෙන එක විතරයි.ඒක නිසා ඒක පාවාදීමක් විදියට හිතන්න ‍හොඳ නෑ.

    ReplyDelete
  3. "රටේ ජනයාගේ මතය" යනු ඒ සුදු හුණු ගාන්නන්ගේ මතයයි.
    "මේ බලහත්කාරකම හින්ද මුළු ගාඩි වංශයම අනතුරේ බව දැනෙනව.ඒ උනාට රජුන්ට එරෙහිව යන්ට උන්දැට හයියක් නෑ"
    මේ නිවට නායකත්වය නොවේද

    ReplyDelete
  4. සටන් කලානම් වෙන්නෙ මුළු සනුහරේම අතුගෑවෙන එක දැන දැන සටන් කිරීමට නොයාම උපායශීලි බවක් මිසක් නිවටකමක් නෙවේ

    ReplyDelete