Sunday, September 15, 2013

කැලැන්ඩරේ......

අපේ කෝලිතයට හරි හරි වැඩ වෙනවා. මේකත් ලඟකදි ඌට වෙච්ච වැඩක්.මෙයා හවසට ඇඟ ටිකක් රත් කර ගන්නවා. (හැමදාමත් නෙමේ...........ඉඳල හිටලත් නෙමේ)

හැබැයි ඒ වගේ දවස්වලට, එහෙම නැහැ කියල ගෙදරට පෙන්වන්න මෙයා කරන්නෙ වෙනදාට වඩා  "සෘජු‍"ලෙස වැඩ කරන එකයි......
  මොනව උනත් ලඟ පාතක හිටියොත් මටත් කතා කරනවා.(ඒකත් කියන්න එපායැ)
මෙයා නිදාගන්න  ඇඳ ඉහට උඩින් ලොකු කැලැන්ඩරයක් තියනවා.පුරුද්දක් හැටියට හැමදාම නිදා ගන්න කලින් බුදුන් වඳිනව වෙනුවට මෙයා කරන්නෙ කැලැන්ඩ‍රේ දිහා බලාගෙන හෙට දිනය ගැන මෙනෙහි කරල නිදාගන්න එකයි,
මාසයක් ගානෙ   කැලැන්ඩ‍රේ පරන කොලය අයින් කරල යාවත් කාලීන කරන එක මෙයා හරියටම කරනවා.
එදා පෙබරවාරි 28 වෙනිදා. වෙනදා වගේම නිදා ගන්න ගියා.හැබැයි වෙනදාට වඩා රත්වෙලයි හිටියෙ.
සෑහෙන වෙලාවක් කැලැන්ඩ‍රේ දිහා බලාන ඉන්නකොට මතක් වුනා හෙට මාර්තු පලවෙනිදා නේද කියලා.හොඳ එළඹි සිහියෙන් නිදා ගත්ත බව පෙන්වන්න ඕන නිසා එදා රෑම කැලැන්ඩ‍රේ අළුත් මාසයකට ඉඩ දුන්නා.ඒ කියන්නෙ  පෙබරවාරි කොලයට යන්න කිව්වා.
ඒ විතරක් නෙමේ හෙට බත් එක ඔතන්න ගන්න කියල, ඒ කොලය වයිෆ්ගේ අත උඩ සීරුවෙන් තියල ආවා.
ඔන්න ඒ හින්ද, වෙනදා වගේම සුපුරුදු ලෙසට "අහිංසක"කෝලිතය     වයිෆ් ට මාට්ටු උනා.
විසාකා තොමෝ  විලාසෙන් ආපහු කාමරේට වඩින කෝලිතය දිහා  වයිෆ් බලාගෙන හිටියෙ, නාලාගිරිව දැක්ක චිංචි මානවිකාව වගේ.
(සැ: යු:ජාතක කතාවෙන්  පිට ඔවුන්  නිතරම මුන ගැසුනු බවට ජීවමාන සාක්ෂි ඇත)
රහමෙර සුවඳ නිසා නහය වහගෙනම නිදි දෙව් දුව කෝලිතය ව වැළඳ ගත්තා.
ඔන්න අළුත් දවසක්. ඇල්කොහොල් ගඳ පහව ගියාට පස්සෙ එයා කෝලිතය ව නිදහස් කලා.
ටික වෙලාවක් යකකොට එකම කාල ගෝට්ටියයි."කෝ යකෝ දැන් මගෙ මේසය උඩ තිබුන සෙලෝ ටේප් එක. කවුද ඒක ගත්තෙ"
තිබ්බ තැන අමතක වෙච්ච විස්කි බෝතලයක් හොයනව වගේ කෝලිතය ගේ දෙක කරනවා.
ඊයෙ රෑ හිටිය" අහිංසක" ගිහිල්ල . "අංගුලිමාල" ඇවිල්ල.
කෝලිතය, ගෙදර ඔක්කොටම බැන බැන අහු මුළු අතගානවා.
වෙච්ච දේ දැන ගන්න වයිෆ් කාමරේට එබුනා.
කැලැන්ඩරේ, මාර්තු  මාසේ කොලත් අතේ තියාගෙන කෝලිතය දුක හිතෙන බැල්මක් දැම්මා.
මේකයි වෙලා තියෙන්නෙ. එදත් උදේ  කෝලිතය ව "ප්‍රබෝධයෙන්" නැගිට්ට.ඇත්තටම කිව්වොත්  ඒ වෙලාවෙ ඔය "ප්‍රබෝධ" මීටරය නහුතෙට ම නැගලයි  තිබුනෙ.
නැගිට්ට ගමන් දැක්කෙ කැලැන්ඩරේ. "යකෝ අද මාර්තු පලවෙනිදා වෙනිදා නේද, " කියල පැනපු ගමන් උඩම කොලේ ඉරුව.ඊට පස්සෙ තමයි ඌට තේරුනේ  ඉරුව නෙමේ, පලවෙනිදා පාන්දරම  ඉරාගත්තා කියල. 
එච්චර වෙලා කරල තියෙන්නෙ කාටවත් මාට්ටු වෙන්න ඉස්සර ආයෙත් අලවන්න  සෙලෝ ටේප් එකක් හොයපු එකයි. ඒකෙ උච්චස්ථානය තමයි මේ සුමුදු වදන් පෙල. "කෝ යකෝ දැන් මගෙ මේසය උඩ තිබුන සෙලෝ ටේප් එක. කවුද ඒක ගත්තෙ"(නැවත විකාශය)"මේ......... තමුසෙ හැමදාම උදේට ඔහොමයි. අපිවත් පිස්සු කරනවා.මෙන්න මේකත් අරන් ගිහින් කොහෙන් හරි බීල එනවා"රුපියල් පන්සීයයක් කෝලිතයගෙ අතේ තියන ගමන්  වයිෆ් කිව්වා.

No comments:

Post a Comment